හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ මාලාවක් වෙනුවෙන් ඊයේ (15) දිනයේදී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා එළඹෙන බදාදා (18) දිනයේදී ඒ මහතාව රෝහල් ගත කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහු මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ තමන්ට එරෙහි නඩු කටයුතු අධිකරණයේ විභාග වන අතර අධි චෝදනා ගොනුවීමේ අවදානමක් මැදය.මෙම වෛද්‍ය පරීක්ෂණ මෙන්ම ඊට අදාළ ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුවද, ඔහු තවත් සති දෙකක හෝ තුනක පමණ කාලයක් රෝහල තුළම රැඳී සිටිමින් විවේක ගනු ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග මගින් තහවුරු කර ඇත.
මේ අතර, පසුගිය ජනවාරි මස 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ අයථා UK සංචාර නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු මේ වනවිට සියයට අනූවකින් පමණ සම්පූර්ණ වී ඇති බවයි. ඒ අනුව එම විමර්ශන කටයුතු තවත් මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කර, මෙම මාර්තු මාසය තුළදී අදාළ චෝදනා ගොනු කරමින් නඩු පැවරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබුණි.
විමර්ශන අවසන් කිරීමෙන් පසු මෙම මාර්තු මාසය තුළදී අධිචෝදනා ගොනු කිරීම සිදුවිය හැකි වුවද, නඩුව යළි කැඳවන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැත. එලෙස අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව අදාළ නඩු කටයුත්ත මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ඊට ඉහළ අධිකරණයක් වෙත යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට සමගාමීව පවතින අනෙකුත් නඩු කටයුතු හෝ වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාග කිරීම් එළඹෙන අප්‍රේල් මස 29 වැනිදාට යෙදී තිබුණද, ප්‍රධාන නඩුවේ ඉදිරි පියවර ලෙස සැලකෙන්නේ මෙම මාර්තු මාසයේදී සිදුකිරීමට නියමිතව ඇති නඩු පැවරීමයි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව විදේශ ගමන් තහනමක් දැනට අධිකරනයේ ක්‍රියාත්මක නොවන නමුත් අධි චෝදනා ගොනුවීමෙන් පසු එලෙස පැනවීමට ඉඩ තිබෙන අතර මෙම නඩු කටයුතු මගහැරීමට ඔහුගේ විදේශගතවීමෙන් තාවකාලික හැකියාවක් ලැබේ. සිංගප්පූරුවේ සංචාරක වීසා මාසයකට වඩා දීර්ඝ කරගන්නට පහසුවෙන් නොහැකිය.