
නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේදී ඉන්දීය බැතිමතුන් පිරිසක් රැගත් කුඩා බස් රථයක් අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ, ගන්දකී පළාතේ පිහිටි සුප්‍රකට මනකාමනා විහාරස්ථානය වැඳපුදාගෙන යළි පැමිණෙමින් සිටියදීය.
මනකාමනා විහාරස්ථානයේ සිට ටනහුන් දිස්ත්‍රික්කයේ අඹුඛෛරේනි ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ මෙම විදුලි බස් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් මෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බව එරට පොලීසිය පවසයි.අනතුරින් මියගිය සියලු දෙනාම ඉන්දීය ජාතිකයින් වන අතර, ඒ අතරට කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අයත් වේ. ගෝර්කා දිස්ත්‍රික් රථවාහන පොලිස් කාර්යාලය තහවුරු කළ පරිදි මියගිය අය මුත්තු කුමාර් (58), අනාමලික් (58), මීනාක්ෂි (59), ශිවගාමි (53), විජයාල් (57), මීනා (58) සහ තමිලරසි (60) ලෙස හඳුනාගෙන ඇත. මෙම බස් රථයේ මගීන් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර, තුවාල ලැබූ මගීන් හත් දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා භරත්පූර් හි චිට්වාන් වෛද්‍ය විද්‍යාලය වෙත ඇතුළත් කර තිබේ. හිමාලයන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට අනතුරින් බස් රථයේ රියදුරා නිරුපද්‍රිතව බේරී ඇති නමුත් ඔහුගේ සහායකයා තුවාල ලබා ඇත. අනතුරින් පසු එදින මධ්‍යම රාත්‍රිය වන තුරුත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වී ඇති අතර, අනතුරට හේතු වූ වෙනත් කරුණු තිබේදැයි පොලීසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වයි.
මීට පෙර පෙබරවාරි 23 වැනිදා ද නේපාලයේ ධාඩිං දිස්ත්‍රික්කයේදී පොඛාරා සිට කත්මණ්ඩු නුවර බලා ධාවනය වෙමින් තිබූ සංචාරකයින් 44 දෙනෙකු රැගත් බස් රථයක් මීටර් 200ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලැබීය. එම අනතුරින් මියගිය අය අතර 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, 40 හැවිරිදි චීන කාන්තාවක සහ 32 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු ද විය. ලෝක බැංකු අධ්‍යයනයකට අනුව, 2007 වසරේ සිට නේපාලයේ රිය අනතුරු හේතුවෙන් සිදුවන ආර්ථික අලාභය තුන් ගුණයකින් වැඩි වී ඇති අතර එය මේ වන විට එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් පමණ වේ. එසේම, රිය අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයින්ගෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයක් පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැනි අනතුරුවලට පහසුවෙන් ගොදුරු විය හැකි පිරිස් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
කඳුකර භූගෝලීය පිහිටීම, දුර්වල හා පටු මාර්ග, අයහපත් කාලගුණය, භූමිකම්පා සහ ප්‍රවාහන පද්ධතියේ පවතින සීමාවන් නේපාලය තුළ බහුලව රිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රටේ බොහෝ ප්‍රදේශ කඳුකර හා දුෂ්කර බැවින් මාර්ග දෙපස ගැඹුරු ප්‍රපාත සහ බෑවුම් දක්නට ලැබෙන අතර, බොහෝ ස්ථානවල ආරක්ෂිත වැටවල් පවා ඉදි කර නොමැත. මීට අමතරව, මෝසම් කාලවලදී ඇතිවන අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් සහ මාර්ග කැඩී යාම් බහුලව සිදුවන අතර භූමිකම්පා කලාපයක් වීම හේතුවෙන් පවතින භූමියේ අස්ථාවරත්වය ද මීට බලපායි. රථවාහනවලට පමණට වඩා මගීන් පැටවීම, පැරණි වාහන භාවිතය සහ කඳුකර මාර්ගවල ධාවනයට රියදුරන්ට ප්‍රමාණවත් පුහුණුවක් නොමැති වීම වැනි කරුණු ද මෙම මාර්ග අනතුරු අවදානම තවදුරටත් ඉහළ නංවා ඇත.

