police-investigations-on-jaffna-university-students-who-lowered-the-national-flag-and-raised-black-flags-on-independence-day

පසුගියදා යෙදී තිබුණු ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දිනයේදී යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඔසවා තිබූ ජාතික කොඩිය පහත හෙළා ඒ වෙනුවට කළු කොඩියක් එසවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින් තිදෙනෙකුට යාපනය දිස්ත්‍රික් අපරාධ නිවාරණ අංශය විසින් කැඳවීමක් කර තිබේ.




මෙම කැඳවීම යාපනය විශ්වවිද්‍යාලයේ මහාලේඛකාධිකාරීවරයා හරහා ලිඛිතව දැනුම් දී ඇති අතර, ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු ශිෂ්‍ය නියෝජිතයින් තිදෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

පසුගිය පෙබරවාරි 4 වැනිදාට යෙදී තිබුණු ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කිරීමක් වශයෙන් සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල භූමියේ ප්‍රදර්ශනය කර තිබූ ජාතික කොඩිය ඉවත් කර ඒ වෙනුවට කළු කොඩියක් ඔසවමින් සිය විරෝධය සටහන් කර තිබුණි.




අදාළ සිදුවීම වන අවස්ථාවේ ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සාක්ෂි වශයෙන් යොදාගනිමින් පොලිස් නිලධාරීන් විසින් මේ වන විටත් විශ්වවිද්‍යාලයට ගොස් එහි උපකුලපතිවරයාගෙන් සහ මහාලේඛකාධිකාරීවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙවන් පසුබිමක් තුළ, මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ට කර ඇති කැඳවීමත් සමඟ ඔවුන් අත්අඩංගුවට පත්වනු ඇතැයි යන බියක් සිසුන් අතර නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර දැඩි කතාබහක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගෙන ඇත.