it-was-us-who-attacked-the-iranian-ship-in-the-indian-ocean---the-us-secretary-of-defense

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට තීරණාත්මක මෙන්ම කිසිදු අනුකම්පාවකින් තොර දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමින් සිටින බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙහෙයුමට ගත වී ඇත්තේ දින හතරක් පමණක් වුවද, ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළ පරිදි එහි සාර්ථකත්වය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම කාලයක් වැය කිරීමට ඇමරිකාව සූදානම් බව ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.




ජාත්‍යන්තර මුහුදු සීමාවේ ආරක්ෂිතව ගමන් කරන බවට විශ්වාස කළ ඉරාන යුද නෞකාවක් ඉන්දියන් සාගරයේදී ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර මුහුදුබත් කිරීමට ඇමරිකානු හමුදා කටයුතු කළ බව හෙග්සෙත් මෙහිදී හෙළි කළේය. ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ නෞකාවේ නම ප්‍රකාශ නොකළද, ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ 'අයිරිස් දෙනා' (IRIS Dena) නම් ඉරාන නෞකාව ගිලී ගොස් ඇති බවත් එහි ගමන් කළ පුද්ගලයින් 140 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර වාර්තා කර තිබුණි.

මෙම යුද ගැටුම කිසිසේත්ම සමාන පාර්ශ්වයන් දෙකක් අතර සටනක් වීමට අදහස් නොකළ එකක් බව පැවසූ ඔහු, ඉරානය අඩපණ වී ඇති මොහොතක ඇමරිකාව ඔවුන්ට අඛණ්ඩව පහර දෙමින් සිටින බව පැහැදිලි කළේය. මෙය හුදෙක් ආරම්භය පමණක් බවත්, ඉදිරියේදී මීට වඩා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බවත් ආරක්ෂක ලේකම්වරයා අනතුරු ඇඟවීය.




පසුගිය දින හතරක කාලය තුළ අත්කර ගත් ප්‍රතිඵල ඇදහිය නොහැකි හා ඓතිහාසික ඒවා වන අතර, ඉරාන පාලන තන්ත්‍රය මේ වන විට මුළුමනින්ම විනාශ වී ඇති බව ඔවුන්ම දන්නා බව හෙග්සෙත් කියා සිටියේය. ඉරාන හමුදා බලය ලුහුබැඳ ගොස් විනාශ කිරීමේ සහ ඔවුන් මානසිකව ඇද දැමීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ වී ඇති බවත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් යුද්ධය අවසන් බවට තීරණය කරන තුරු ඉරාන නායකයින්ට ඉහළ අහසේ දැකගත හැකි වනු ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල යුද ගුවන් යානා පමණක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossiplanka image