imprisoning-ranil-who-could-be-useful-to-the-country-is-a-national-crime---vajira

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පවත්වනු ලබන විශේෂ රැස්වීම් මාලාව යටතේ පසුගිය 14 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කය මුල්කරගෙන පැවැති හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේ, රටට සුවිශේෂී සේවාවක් ඉටුකළ හිටපු ජනාධිපතිවරයාගෙන් තවදුරටත් වැඩ නොගෙන ඔහුව සිරගත කිරීමට වත්මන් පාලකයන් දරන උත්සාහය ඔවුන්ගේම දුර්වලකමක් බවයි.




වත්මන් ප්‍රධාන පක්ෂ යාන්ත්‍රණයේ මැදිහත්වීම මත විපක්ෂය දුර්වල කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට චෝදනා කළ සභාපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන සෘජු ප්‍රහාර එහිම ප්‍රතිඵලයක් බව පෙන්වා දුන්නේය. ජාතික මට්ටමේ නායකයෙකු ලෙස එතුමා මාතෘභූමිය වෙනුවෙන් කළ කැපවීම ඇතැමුන්ගේ මතකයෙන් ගිලිහී යාම අතිශය කනගාටුවට කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතාගේ අතීත දේශපාලන හා ආර්ථික මෙහෙවර සිහිපත් කළ වජිර අබේවර්ධන මහතා පැවසුවේ, 'කර්මාන්ත උපායමාර්ගික සැලැස්ම' හඳුන්වාදෙමින් බියගම, සීතාවක, සපුගස්කන්ද, බිංගිරිය, කොග්ගල සහ පල්ලේකැලේ යන ආයෝජන සහ කර්මාන්ත කලාප බිහිකිරීමට එතුමා පුරෝගාමී වූ බවයි. මීට අමතරව 1991 වසරේදී හෝටල් කර්මාන්තයට සහන සැලසීම මෙන්ම 'ඉන්ෆෝ ලංකා' ප්‍රදර්ශනය ආරම්භ කිරීමද එතුමාගේ මඟපෙන්වීම යටතේ සිදුවූ බව පෙන්වා දුන්නේය.




වර්ෂ 2001 වන විට සෘණ අගයක් දක්වා මුළුමනින්ම කඩා වැටී තිබූ ජාතික ආර්ථිකය යළි නඟා සිටුවීමට නායකත්වය දුන්නේද රනිල් වික්‍රමසිංහ මහතාය. ඉන් අනතුරුව 2003 වසරේ පැවැති ටෝකියෝ ආධාර සමුළුව හරහා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 45,000ක මුදලක් රටට ලබාගැනීමටත්, එකල පැවැති දරුණු විදුලි කප්පාදුව නිමා කර පැය 24 පුරාම අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමටත් එතුමාගේ රජයට හැකි වූ බව සභාපතිවරයා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍යවරයා ලෙස 2017-2018 කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට ප්‍රාථමික අයවැය අතිරික්තයක් නිර්මාණය කිරීමට ක්‍රියා කළ එතුමා, 2022-2024 සමයේ ජනාධිපතිවරයා ලෙසද එවැනිම තීරණාත්මක පියවර රැසක් ගත් බවත්, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට අවශ්‍ය ආධාර ලබාගැනීමට කටයුතු කළ බවත් මෙහිදී ප්‍රකාශ විය. ඉන්ධන, ගෑස් සහ ඖෂධ පෝලිම්වල ජනතාව මියගිය, මහමඟ ගැටුම් ඇතිවූ 2022-2024 අඳුරු සහ අර්බුදකාරී යුගයේදී රට බංකොලොත්භාවයෙන් මුදාගෙන අවිනිශ්චිත ජන ජීවිතය යථා තත්ත්වයට පත්කළේ වික්‍රමසිංහ මහතාගේ පළපුරුද්ද සහ බුද්ධිමත් නායකත්වය බව අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. රටට වැඩක් ගතහැකි රනිල්ව සිරකිරීම ජාතික අපරාධයක් ලෙසද නම් කලේය. ගාල්ල දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන්, කළමනාකරුවන් සහ ආසන සංවිධායකවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවෙන් නොනැවතී, දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අද සහ හෙට දිනවලදීද මෙම රැස්වීම් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.