බංග්ලාදේශය සහ පාකිස්තානය අතර මීර්පූර් නුවර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වාර්තා වූ මතභේදාත්මක දුවද්දී දැවී යාමේ සිදුවීමක් පදනම් කරගනිමින් රාවල්පින්ඩි පොලීසිය විසින් අපූරු රථවාහන ආරක්ෂිත වැඩසටහනක් දියත් කර තිබේ. පාකිස්තාන ක්‍රීඩක සල්මන් අගා දැවී ගිය අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් උපයෝගී කරගනිමින් මාර්ග නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැන්වීමක් නිර්මාණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ වාර්තා කළේය.
මෙලෙස ක්‍රීඩා පිටියේ සිදුවීමක් හරහා මහජනතාවට ආරක්ෂිත පණිවිඩයක් ලබාදීම මෙහි ඇති විශේෂත්වයයි.මෙම සිදුවීම වාර්තා වූයේ පාකිස්තාන ඉනිමේ 39 වැනි ඕවරයේදීය. බංග්ලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් යැවූ සිව්වැනි පන්දුවට මොහොමඩ් රිස්වාන් විසින් එල්ල කරන ලද ඩ්‍රයිව් පහර, මෙහෙදි විසින් සිය පාදයෙන් නවතා ගන්නා ලදී. එම අවස්ථාවේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි සල්මන් අගා පන්දු යවන්නාගේ රේඛාවෙන් (පොපිං ක්‍රීස්) ඉදිරියට පැමිණ පන්දුව අහුලා දීමට සූදානම් වුවද, ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙහෙදි හසන් පන්දුව රැගෙන කඩුල්ල බිඳ දැමීමට කටයුතු කළේය. පන්දු යවන්නාගේ ඉල්ලීම මත පිටියේ විනිසුරු විසින් තීරණය රූපවාහිනී විනිසුරුවරයා වෙත යොමු කළ අතර, එහිදී පිතිකරුවා සීමාවෙන් පිටත සිටි බැවින් එය නිත්‍යානුකූල දැවී යාමක් ලෙස තීන්දු කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාකිස්තානයේ රාවල්පින්ඩි රථවාහන පොලීසිය පෙන්වා දෙන්නේ, අදාළ ක්‍රීඩකයා තමන්ව ආරක්ෂා කර ගැනීමේ මූලික යුතුකම පැහැර හරිමින් කටයුතු කළ බැවින් එම නොසැලකිලිමත්කම හේතුවෙන් කණ්ඩායමට කඩුල්ලක් අහිමි වූ බවයි. සල්මන් අගා සීමාවෙන් පිටත සිටගෙන පන්දුව අතට ගැනීමට උත්සාහ කරන අයුරු දැක්වෙන ඡායාරූපය සමගින් පොලීසිය විසින් නිකුත් කර ඇති දැන්වීමේ, "මාර්ගයේදී හෝ ක්‍රීඩා පිටියේදී වුවද ආරක්ෂාව ආරම්භ වන්නේ පුද්ගලික වගකීමෙනි. ඔබ ගැන විශ්වාස කරන්න, අවදියෙන් සිටින්න. ඥානවන්ත තීරණ ගන්න" යනුවෙන් සටහන් කර ඇත.
දැවී යාමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වන අවස්ථාවේදී සල්මන් සිය හිස්වැස්ම සහ අත්වැසුම් විසිකරමින් දැඩි කෝපයකින් හැසිරුණද, පසුව ඔහු සිය වරද වටහාගෙන තිබිණි. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ තමන් සැමවිටම නීතිය අනුගමනය කිරීමට කැමති වුවද ක්‍රීඩාවේ ජීව ගුණය ඊට වඩා ඉහළින් පවතින බවත්, කුමන තත්ත්වයක් යටතේ වුවද පන්දු යවන්නා තමන් කළ දෙය නිවැරදි යැයි සිතන්නේ නම් එහි ගැටලුවක් නොමැති බවත්ය. කෙසේ වෙතත් මෙම තරගයෙන් ලකුණු 128ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.