free-visas-for-one-month-for-rescued-iranians---america-appreciates-the-action

අමෙරිකානු සබ්මැරීනයක් මගින් ගාල්ලට නාවික සැතපුම් 19ක් පමණ දුරින් වූ ඉන්දියන් සාගර කලාපයේදී ඉරානයට අයත් 'IRIS DENA' යුද නෞකාව ගිල්වා දැමීමෙන් පසු, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුළුල් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. ඉරාන රජයේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී අදාළ අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයින් 32 දෙනෙකු සහ මියගිය 87 දෙනෙකුගේ සිරුරු ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය.

මෙම සිදුවීමත් සමග ආපදාවට ලක්වූ 'IRIS BUSHEHR' නම් තවත් ඉරාන නෞකාවකට මෙරටට ඇතුළුවීමට ශ්‍රී ලංකා රජය අවසර ලබා දුන් අතර, මේ වන විට එම නෞකාව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ. 'IRIS BUSHEHR' නෞකාවේ සිටි 204 දෙනෙකු ද නාවික හමුදාව විසින් මුදාගෙන වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ මෙම සියලු කටයුතු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට සහ බැඳීම්වලට අනුකූලව සිදුකළ බවයි.




මෙලෙස මුදාගත් ඉරාන කණ්ඩායම් වෙත මානුෂීය රැකවරණ සැලසීමේ පියවරක් ලෙස මාසයක පමණ කාලයක් සඳහා තාවකාලික සහන වීසා නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව තහවුරු කළේය. කිසිදු පාර්ශ්වයකට පීඩාවක් හෝ විශේෂ සහයක් නොදක්වමින්, නොබැඳී විදේශ ප්‍රතිපත්තියක් සහ ජාත්‍යන්තර නාවික නීතිරීති මත පදනම්ව මෙම පියවර ගත් බවත් ඉදිරියටත් එවැනි තීරණ ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය. ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණයන් හමුවේ වක්‍ර බලපෑම් එල්ල වුවද, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රටේ ජනතාවගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට පූර්ණ ලෙස ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිල වශයෙන් නිවේදනය කර තිබේ. 'IRIS BUSHEHR' නෞකාව සහ මුදාගත් කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය දේශීය සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුව ශ්‍රී ලංකාව සතු බවද ඔහු පිළිගෙන ඇත. එහෙත්, රොයිටර් පුවත් සේවය අමෙරිකානු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරන්නේ, මුදාගත් ඉරාන ජාතිකයින් නැවත එරටට නොයවන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවයි. තවද, මෙරට රඳවාගෙන සිටින එම ඉරාන නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කිරීමට පියවර ගන්නා ලෙසද අමෙරිකාව ලක් රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.