කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (30) දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ 'ඇම්බර්' වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 මාර්තු 29 වැනි දින පස්වරු 3.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, දිවයිනේ පළාත් කිහිපයකම මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවදානම් තත්ත්වය බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ද දැඩිව බලපානු ඇත. මේ අතර, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 37.2 ක් ලෙස වාර්තා වී ඇති අතර, රත්නපුරයෙන් අංශක 36.9 ක් ද, අනුරාධපුරයෙන් අංශක 36.0 ක් සහ වව්නියාවෙන් අංශක 35.9 ක් ලෙස ද ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇත. ඊට සාපේක්ෂව නුවරඑළිය ප්‍රදේශයෙන් අවම උෂ්ණත්වය ලෙස සෙන්ටිග්‍රේඩ් අංශක 8.4 ක් වාර්තා වී තිබේ.
සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක් ගන්නා මෙම 'අවධානය යොමු කළ යුතු' උණුසුම් දර්ශක මට්ටම හේතුවෙන් වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම හරහා සිරුරට දැඩි තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එලෙසම තවදුරටත් ක්‍රියාකාරකම්වල නියැළීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම හේතුවෙන් මස්පිඬු පෙරළීම (heat cramps) වැනි තත්ත්වයන් ද ඇතිවීමේ අවදානමක් පවතී. මෙම උණුසුම් දර්ශකය යනු හුදෙක් උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන අතර, එය වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය යන සාධක යොදා ගනිමින් ගණනය කරනු ලබන, සැබැවින්ම මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්ව තත්ත්වය බව බලධාරීහු පෙන්වා දෙති.
පවතින මෙම උණුසුම් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ උපදෙස් මත ජනතාව වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව, නිරන්තරයෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, එළිමහනේ දැඩි වෙහෙසකාරී කටයුතු සීමා කර හැකිතාක් සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී. ඊට අමතරව, කුඩා දරුවන් කිසිවිටෙකත් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට උපදෙස් ලබා දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර 011-7446491 යන දුරකථන අංකය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයෙන් ලබාගත හැකිය.

