කොළොන්නාව තෙල් නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් රථ ඉන්ධන නොමැතිව යළිත් ආපසු හැරී ගිය බවට පළ වන මාධ්‍ය වාර්තා සහ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි. එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් අදාළ පුවත සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළේය.
අද දිනය වෙනුවෙන් බෙදාහැරීමට නියමිතව තිබූ ඉන්ධන ප්‍රමාණය ඊයේ රාත්‍රියේදීම නිකුත් කර අවසන් කර තිබේ. කෙසේ වෙතත්, අද දිනයේදී තවදුරටත් අමතර ඉන්ධන තොග ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම බවුසර් රථ කොළොන්නාව තෙල් පිරිපහදු පරිශ්‍රය වෙත පැමිණ ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එලෙස අමතරව ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකරන බැවින් අදාළ බවුසර් රථ එතැනින් පිටව ගොස් ඇත. ඒ අනුව එම බවුසර් ආපසු හරවා යවා ඇත්තේ ඉන්ධන හිඟයක් පවතින නිසා නොව, නියමිත ප්‍රමාණයට වඩා අමතර තොග නිකුත් කිරීමක් සිදු නොකරන නිසා බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
මේ වන විටත් මැයි මාසය අවසන් වන තෙක් රටට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඊට අමතරව ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් තවත් ඉන්ධන ඇණවුම් කර ද ඇති බැවින්, අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්නැයි මයුර නෙත්තිකුමාරගේ මහතා ජනතාවට දැනුම් දෙයි.
මීට ඉහත ඊයේ දිනයේදීද 21 හා 22 ඉන්ධන බෙදීම නවතා දමා ඇති බවට මෙකී මාධ්‍ය ඔස්සේම කරුනු පළ කර තිබූ අතර පසුව එම අසත්‍ය වාර්තා නිවැරදි කිරීමට කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතාට සිදුවිය. කිසියම් කඩාකප්පල්කාරී මාධ්‍ය මෙහෙයුමක් මගින් ඉන්ධන හිඟයක් මවාපාන්නට හා ජනතාව රජය කෙරෙහි කලකිරවීමට මෙවැනි ව්‍යාජ ආරංචි නිර්මාණය කරමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

