container-incident-statement-by-former-customs-chief-nonis-to-matisabha-committee

කොළඹ වරායෙන් භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. හෙට (11) දිනයේදීද ඔහුගෙන් මේ සම්බන්ධයෙන් යළි ප්‍රශ්න කිරීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

එම සිදුවීම සිදුවූ අවස්ථාවේ පැවති බහාලුම් තදබදය වළක්වාලීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් වේ.




මෙම බහාලුම් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් ද පසුගිය දිනවලදී ප්‍රශ්න කළේය. එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ සිදුකළ විශේෂ කමිටුවක නියෝජිතයන්ගෙන් ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ. අදාළ බහාලුම් මුදාහැරීමේ සිදුවීම වාර්තා වූයේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

මුදාහැරුණු බහාලුම් අතර 'රතු ලේබල්' සහිත බහාලුම් ද තිබූ බවට රේගු වෘත්තීය සමිති චෝදනා කරයි. මෙම බහාලුම් මුදාහැරීමේ සිද්ධිය පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද පසුගිය දිනවල පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය. අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන්නේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.




විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන ලදී. කාරක සභාව පිහිටුවීමෙන් අනතුරුව, එහි පළමු රැස්වීම පැවති දින සිට මාස තුනක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.