මහකුඹුක්කඩවල පොලිස් බලප්‍රදේශයට අයත් සොහොන්කල්ම ප්‍රදේශයෙන් ඊයේ (26) රාත්‍රියේ කම්පනය දනවන ඝාතනයක් වාර්තා විය. ඒ සිය ලෙයින් උපන් පුත්‍රයාට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳවයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි විසිහය හැවිරිදි තරුණයෙකි.මූලික පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව, මියගිය තරුණයා සහ ඔහුගේ පියා සිය නිවස තුළ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා අතර යම් ආරවුලක් හටගෙන ඇත. එම බහින්බස් වීම දුරදිග යාමෙන් දැඩි සේ කෝපයට පත් පියා විසින් ආයුධයක් ලෙස පොරවක් භාවිතා කරමින් සිය පුත්‍රයාට මෙම මාරාන්තික ප්‍රහාරය එල්ල කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර හැටතුන් හැවිරිදි පියා මේ වන විටත් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඝාතනයට ලක්වූ තරුණයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, එය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ආණමඩුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලීසිය විසින් මේ වන විටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

