පසුගිය වසරේ ජුනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ඉරානය ප්‍රතිචාර දැක්වූයේ කලාපීය යුද්ධයක් දක්වා තත්ත්වය වර්ධනය වීම වළක්වා ගැනීමේ අරමුණෙනි. එහෙත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන පාලනය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත සහ අඛණ්ඩ මෙහෙයුමක් දියත් කිරීමට නියෝග කිරීම සහ එරට උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට ලක්වීමෙන් පසු, ඉරානයේ වත්මන් ප්‍රතිචාරය මීට පෙර පැවති සීමාවන් ඉක්මවා ගොස් ඇත.
මෙවර ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු පළමු පැය කිහිපය තුළදීම, ඉරානය විසින් කලාපය පුරා පිහිටි ඇමරිකානු කඳවුරු සහ මිත්‍ර රටවල ජනාකීර්ණ සිවිල් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී. ඇමරිකානු සහ ඊශ්‍රායල බෝම්බ හෙළීම් හේතුවෙන් ඉරානය තුළ විශාල ජීවිත හානියක් සිදුවී ඇති අතර, රතු කුරුස සංවිධානයේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය පුරා පුද්ගලයින් 201 දෙනෙකු පමණ මියගොස් තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඉරානයේ දකුණුදිග ප්‍රදේශයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව අයි.ආර්.එන්.ඒ (IRNA) පුවත් සේවය සඳහන් කළද, මෙම සංඛ්‍යා ස්වාධීනව තහවුරු කර නොමැත.
ඉරානය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාර, විදෙස් ආයෝජන, විදේශික ශ්‍රමිකයින් සහ සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් ගල්ෆ් කලාපය ගොඩනඟා ගෙන තිබූ සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රතිරූපය දැඩි ලෙස කම්පනයට පත් කර ඇත. ඩුබායි හි සුඛෝපභෝගී සංචාරක කලාප, බහරේනයේ මහල් නිවාස සහ කලාපයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් රැසක් ඉරාන මිසයිල, ඩ්‍රෝන යානා හෝ ඒවායේ සුන්බුන් හේතුවෙන් හානියට පත්වීම හරහා, බොහෝ ගල්ෆ් ජාතීන් ඇමරිකාව සමඟ පවත්වාගෙන ගිය සබඳතාවල ආරක්ෂක පදනමටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
සෙනසුරාදා උදෑසන එල්ල වූ පළමු මිසයිල ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කය වූයේ ඊශ්‍රායලයයි. එදින දහවල් වන විට ඊශ්‍රායලය දෙසට මිසයිල 35ක් පමණ එල්ල වී තිබූ අතර, ටෙල් අවිව් ප්‍රදේශයේදී කඩා වැටුණු සුන්බුන් වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ඉරිදා පස්වරුවේ මධ්‍යම ඊශ්‍රායලයේ බීට් ෂෙමේෂ් (Beit Shemesh) ප්‍රදේශයට එල්ල වූ බැලිස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූහ. ඇමරිකානු සහාය සහ ඩොලර් බිලියන 1කට අධික අරමුදල් ඇතිව නිර්මාණය කළ අතිනවීන 'අයන් ඩෝම්' (Iron Dome) මිසයිල ආරක්ෂණ පද්ධතිය හරහා ඊශ්‍රායලය ආරක්ෂා වී සිටියද, පසුගිය ජුනි මාසයේදී මෙන්ම ගෙවී ගිය පැය 48 තුළද සමහර මිසයිල සහ ඩ්‍රෝන යානා එම පද්ධති මඟහැර යාමට සමත් වී ඇත.
ඇමරිකාවට අයත් මැදපෙරදිග කඳවුරුවලට පහර දෙන බවට ඉරානය මින් පෙරද අනතුරු අඟවා තිබූ අතර, ප්‍රහාර ආරම්භ වීමට පෙර කටාර්හි අල් උඩෙයිඩ් (Al Udeid) ගුවන් කඳවුර ඇතුළු කඳවුරු කිහිපයකින් ඇමරිකානු හමුදා ඉවත් කරගැනීම ආරම්භ කර තිබුණි. කෙසේ වෙතත්, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, ජෝර්දානය සහ සෞදි අරාබිය යන රටවල පිහිටි ඇමරිකානු කඳවුරු සෙනසුරාදා ඉලක්ක බවට පත් විය. කටාර් රාජ්‍යයේ පිහිටි කලාපයේ විශාලතම ඇමරිකානු කඳවුර වන අල් උඩෙයිඩ් වෙත මිසයිල 44ක් සහ ඩ්‍රෝන යානා 8ක් එල්ල වී ඇති අතර, බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික හමුදා මූලස්ථානයටද මිසයිල 45ක් සහ ඩ්‍රෝන 9ක් එල්ල වී ඇති බව බලධාරීහු තහවුරු කළහ. කුවේටයේ අලි අල්-සාලෙම් ගුවන් කඳවුර දෙසට එල්ල වූ බැලිස්ටික් මිසයිල 97ක් සහ ඩ්‍රෝන 283ක් අතුරින් වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති සමත් වුවද, විදේශිකයෙකු මියගොස් තවත් විදේශිකයින් 30කට වැඩි පිරිසක් එහිදී තුවාල ලබා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ කලාපයේ පිහිටි සියලුම සතුරු කඳවුරු සහ පහසුකම් නීත්‍යානුකූල මිලිටරි ඉලක්ක ලෙස සලකන බවයි.
මිලිටරි ඉලක්කවලට අමතරව, වසර ගණනාවක් පුරා ඇමරිකා-ඉරාන ගැටුම්වලින් දුරස්ව සිටි ගල්ෆ් කලාපයේ ඇමරිකානු මිත්‍ර රටවල සිවිල් ප්‍රදේශ රැසකට ද ප්‍රහාර එල්ල වී ඇත. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිකුත් කළ ලැයිස්තුවකට අනුව, ඩුබායි සහ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, ඩුබායි හි සයීඩ් (Zayed) ජාත්‍යන්තර ගුවන් තොටුපළ, ඉරාකයේ අර්බිල් (Erbil) ගුවන් තොටුපළ, ඩුබායි වරාය මෙන්ම ඩුබායි හි Fairmont Palm සහ Burj Al Arab, බහරේනයේ Crowne Plaza වැනි හෝටල් ද මේ අතර වේ. මීට අමතරව ඊශ්‍රායලයේ බීට් ෂෙමේෂ් සහ ටෙල් අවිව්, බහරේනයේ Era Views Towers සහ කටාර් රාජ්‍යයේ නේවාසික ප්‍රදේශ ද ඉලක්ක වී ඇත. ඩුබායි හි සුප්‍රසිද්ධ ෆාම් ජුමෙයිරා (Palm Jumeirah) කෘතිම දූපතේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, බර්ජ් අල්-අරාබ් (Burj al-Arab) හෝටලයට සුන්බුන් කඩා වැටීමෙන් ගින්නක්ද හටගෙන ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ බැලිස්ටික් මිසයිල 165ක්, කෲස් මිසයිල 2ක් සහ ඩ්‍රෝන 541ක් අතුරින් බහුතරයක් විනාශ කළද, ඩ්‍රෝන 21ක් සිවිල් ඉලක්ක වෙත වැදී පකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලට අයත් සංක්‍රමණික ශ්‍රමිකයින් තිදෙනෙකුට දිවි අහිමි විය. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඉරානය, ඉරාකය, කුවේටය, ඊශ්‍රායලය සහ බහරේනයට ඉහළින් ගුවන් කලාපය මුළුමනින්ම පාහේ හිස්ව පවතී. බහරේනයේ මනාමා අගනුවර මහල් නිවාසයකට ඉරාන 'ෂාහෙඩ්' (Shahed) ඩ්‍රෝන යානයක් කඩා වැදීම සහ සෞදි අරාබියේ අගනුවරට හා නැගෙනහිර කලාපයට එල්ල වූ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමද වාර්තා වේ.
ඉරානය මෙම ප්‍රහාර මගින් ගල්ෆ් කලාපය පුරා සංකේතාත්මක බලපෑමක් සිදුකර ඇතත්, තම ප්‍රතිවාදීන්ට සැලකිය යුතු හානියක් සිදු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයට අනුව සිය කඳවුරුවලට සිදුවී ඇති හානිය අවම මට්ටමක පවතින අතර කිසිදු සටන්කාමියෙකුට ජීවිත හානි සිදුවී නොමැත. පසුගිය වසරේ ජුනි මාසයේදී ඉරානය එල්ල කළ මෙවැනිම ප්‍රහාරයකින් ඊශ්‍රායල සිවිල් වැසියන් 36 දෙනෙකු මියගොස් දහස් ගණනක් තුවාල ලැබූ අතර, ඉන්පසුව දින 12ක් පුරා පැවති ගැටුම්වලදී ඊශ්‍රායලය විසින් ඉරානයේ මධ්‍යම සහ දිගු දුර මිසයිල වැඩසටහනට දැඩි හානියක් සිදු කරන ලදී. ඉරානය සතුව කොතරම් මිසයිල ප්‍රමාණයක් ඉතිරිව ඇත්දැයි අපැහැදිලි වුවත්, ඔවුන් සිය බැලිස්ටික් මිසයිල වැඩසටහන යළි ගොඩනඟමින් සිටින බව ඇමරිකානු නිලධාරීන් මින් පෙර ප්‍රකාශ කර තිබුණි. අනෙක් අතට, ඉරානයට සහාය දුන් ගාසා තීරයේ හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධාන ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු දියත් වූ ඊශ්‍රායල මෙහෙයුම් හමුවේ බෙහෙවින් දුර්වල වී ඇත. හිස්බුල්ලා සංවිධානය ඉරානයට සහයෝගය පළ කරමින් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විශාල ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පැවසුවද, ඔවුන්ගේ සෘජු මැදිහත්වීමක් පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත්, යේමනයේ හූති කැරලිකරුවන්ගේ නායක අබ්දුල්-මලික් අල්-හූති (Abdul-Malik al-Houthi) පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල පාලනයට එරෙහිව ඉරානය සමඟ සහයෝගයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සිය සටන්කාමීන් සූදානමින් සිටින බවයි. (Time ඇසුරිනි)