coal-emergency-tender-also-to-the-scandalous-company

රට තුළ මතුවිය හැකිව තිබූ දැවැන්ත බලශක්ති අර්බුදයක් මඟහැරීම සඳහා ගල්අඟුරු ගෙන්වීමට කැඳවන ලද හදිසි ස්ථානීය ටෙන්ඩරය, මීට පෙරද ගල්අඟුරු සැපයීම ප්‍රමාද කළ සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති සමාගමටම නැවතත් පිරිනමා ඇති බවට දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙති. ගල්අඟුරු සැපයීමේ ප්‍රමාදයන් හේතුවෙන් පසුගිය 11 වැනිදා ගල්අඟුරු නැව් පහක් වෙනුවෙන් අදාළ හදිසි ටෙන්ඩරය කැඳවා ඇති අතර, ඒ සඳහා සමාගම් හතරක් සිය මිල ගණන් ඉදිරිපත් කර තිබුණි.

එහිදී දැනටමත් මෙරටට ගල්අඟුරු සපයන 'ට්‍රයිඩෙන්ට් කෙෆර්' නම් ඉන්දියානු සමාගමද සිය ලංසු ඉදිරිපත් කර ඇති අතර, අවසානයේදී බලධාරීන් විසින් අදාළ ටෙන්ඩරය ඔවුනටම ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත.




නියමිත කාලසීමාව තුළ ගල්අඟුරු තොග සැපයීමට අසමත් වූ මෙන්ම බාල තත්ත්වයේ අමුද්‍රව්‍ය ලබා දුන් බව කියන සමාගමක් වෙනුවෙන්ම මෙම ටෙන්ඩරය පිරිනැමීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවට විවේචකයෝ දැඩිව චෝදනා කරති. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ගල්අඟුරු කිලෝග්‍රෑමයකින් උත්පාදනය වන ශක්තිය කිලෝකැලරි 5900ට වඩා අඩු නම් සහ අළු ප්‍රතිශතය සියයට 16 ඉක්මවන්නේ නම් එම තොග ප්‍රතික්ෂේප කිරීමේ සම්මතයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ බවයි. එහෙත් මෙවර ටෙන්ඩර් කැඳවීමේදී එම ප්‍රතික්ෂේපිත සීමාවේ අවම අගය හෙවත් Minimum Value අගය වෙනස් කරමින්, අදාළ ඉන්දීය සමාගමට බාල ගල්අඟුරු සැපයීමට හැකි වන පරිදි ප්‍රසම්පාදන නීතිරීති ලිහිල් කර ඇති බවටද ඔවුහු අමාත්‍යාංශයට සහ රජයට චෝදනා එල්ල කරති.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් 'ට්‍රයිඩෙන්ට් කෙෆර්' සමාගමේ දේශීය නියෝජිතයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තරගකාරී මිල ගණන් යටතේ අඩුම ලංසුව තම සමාගම විසින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ටෙන්ඩරය ඔවුනට හිමි වූ බවයි. එහිදී සෙසු සමාගම් දෙක ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 142ක සහ 174ක මිලක් යෝජනා කරද්දී, තම සමාගම එය ඩොලර් 121ක් වැනි මුදලකට ලබා දීමට එකඟ වී තිබේ. කෙසේ වෙතත්, හදිසි ටෙන්ඩරයද තමන්ටම හිමිවීමෙන් පසුව ලංකා ගල්අඟුරු සමාගම සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අදාළ හදිසි ටෙන්ඩරය අවලංගු කර, පෙර පැවැති ටෙන්ඩරයේ මිල ගණන් යටතේම එනම් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50 බැගින් අදාළ නැව් පහේ ගල්අඟුරු ලබාදීමට එකඟතාවකට පැමිණි බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව, එක් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 121 සිට 98.50 දක්වා අඩු වීමෙන් එක් නැවකින් පමණක් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 13කට අධික විශාල ලාභයක් අත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.




මෙම ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමෙන් කරුණු විමසා දැනගත යුතු බවත්ය. ඒ අනුව, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී හේවගේ නාමල් මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දුන්නද ඒ සඳහා ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.