දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ට අද (23) කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.
මහාධිකරණය හමුවේ අදාළ අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කර ඇත. ඊට අමතරව, මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එළඹෙන මැයි මස 15 වැනිදා පැවැත්වීමට තීරණය කරමින් එදිනට නඩුව යළි කැඳවන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියම කළේය.
මෙම නඩුකරයට පදනම් වී ඇත්තේ 2017 සහ 2018 යන වර්ෂවලදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයකි. එම කාලසීමාව තුළ මාස හයකට අදාළව මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැඳවා තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් හිතාමතාම අවලංගු කර ඇති අතර, ඊට විකල්පයක් ලෙස ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot tenders) විසිහතක් ක්‍රියාත්මක කිරීමට මොවුන් කටයුතු කර ඇත. මෙම නීති විරෝධී ක්‍රියාපටිපාටිය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදු කිරීම මෙන්ම එම ක්‍රියාවට ආධාර සහ අනුබල දීම යන කරුණු මුල්කරගනිමින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර තිබේ.

