ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය උදෙසා නව පියවරක් තබමින්, දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර ඒ වෙනුවට නව ‘GOVTECH’ ආයතනයක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව ආයතනයේ මෙහෙයුම් කටයුතු ඉදිරි මාස තුනත් හයත් අතර කාල සීමාව තුළ ආරම්භ කිරීමට නියමිත අතර, මේ සඳහා 2026 අයවැයෙන් රුපියල් බිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කර ඇත.
ඊට අමතරව ඉදිරි වසර හතර තුළ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 75ක මූල්‍ය සහන ද මෙම ව්‍යාපෘතිය සඳහා හිමිවනු ඇත.මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ පිහිටි ICTA පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන් එක්ව සිටියහ. රජයේ නව ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව පිහිටුවනු ලබන ඩිජිටල් ආර්ථික අධිකාරිය මගින් හඳුන්වාදෙන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම මෙම GOVTECH ආයතනයේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායක් (SOE) ලෙස ක්‍රියාත්මක වීමට නියමිත මෙම ආයතනය මෘදුකාංග හෝ වැඩසටහන් නිර්මාණය කිරීම සෘජුව සිදු නොකරන අතර, ඒ වෙනුවට රජයේ ඩිජිටල්කරණ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබාදීම, වේදිකා පහසුකම් සම්පාදනය සහ ධාරිතා වර්ධන කටයුතු සිදු කරනු ඇත. මේ සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින ඉහළම වැටුප් තලයන් යටතේ දක්ෂ තාක්ෂණික වෘත්තිකයන් 150 දෙනෙකු බඳවා ගැනීමට මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, දැනට ඈවර කෙරෙන ICTA ආයතනයේ සේවය කරන පනස් දෙනෙකු පමණ වන කාර්ය මණ්ඩලය ද ඔවුන්ගේ සුදුසුකම් පදනම් කරගනිමින් නව ආයතනයට බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.
මූලික අදියරේදී නව ආයතනයේ කටයුතු දැනට ICTA ගොඩනැගිල්ල තුළම පවත්වාගෙන යන අතර, පසුව අමාත්‍යාංශයේ තීරණ මත එය වඩාත් පහසු ස්ථානයක් වෙත ගෙන යාමට නියමිතය. ලාභ ඉපැයීමේ අරමුණින් තොරව ක්‍රියාත්මක වන GOVTECH ආයතනය සිය මෙහෙයුම් හරහා උපයන ආදායමෙන් මෙහෙයුම් වියදම් පියවාගැනීමේ ආකෘතියකට අනුව ක්‍රියාත්මක වන බව ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. රජයේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, සුපර් ඇප් (Super App) මෘදුකාංගය සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත කටයුතු සඳහා පදනම සකස් කිරීම මෙන්ම දැනට භාවිත වන Local Government Cloud 2+ (LGC2+) පද්ධතිය LGC 3 දක්වා යාවත්කාලීන කරමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වඩාත් පුළුල් ලෙස භාවිත කිරීම ද නව ආයතනයේ මූලික වගකීම් අතරට අයත් වේ.
රටේ ඩිජිටල් දත්ත සහ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඒ සඳහා මේ වන විටත් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා ඇත. ඊට අමතරව සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනම නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමටත්, දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) තවදුරටත් සවිබල ගැන්වීමටත් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී GOVTECH ආයතනය සහ SLCERT ආයතනය ඒකාබද්ධව මෙරට සයිබර් ආරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරනු ඇත.