a-fire-on-board-the-american-gerald-r-ford

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන 'Operation Epic Fury' මෙහෙයුමට සහාය වෙමින් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් (USS Gerald R.

Ford - CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ බ්‍රහස්පතින්දා දින හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.




අමෙරිකානු නාවික හමුදා මධ්‍යම විධානය (NAVCENT) විසින් නිකුත් කළ නිල නිවේදනයකට අනුව, මාර්තු 12 වන දින මෙම ගින්න හටගෙන ඇත්තේ නෞකාවේ ප්‍රධාන රෙදි සෝදන අංශය ආශ්‍රිතවය. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවිධ කටකතා ප්‍රතික්ෂේප කරමින් බලධාරීන් තහවුරු කර සිටින්නේ මෙය කිසිදු ආකාරයකින් සතුරු ප්‍රහාරයක් හෝ යුදමය ගැටුමක් හේතුවෙන් හටගත්තක් නොවන බවත්, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවත්ය.

මෙම අනතුර හේතුවෙන් නාවිකයින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර, ඔවුන්ගේ ජීවිතවලට ඉන් කිසිදු අවදානමක් නොමැති බවද සඳහන් වේ. ඔවුන් මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබයි. ගින්න හේතුවෙන් නෞකාවේ ප්‍රචාලන පද්ධතියට (propulsion plant) කිසිදු හානියක් සිදුවී නොමැති බැවින් එහි මෙහෙයුම් කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය විද්‍යුත් අලුත්වැඩියා කටයුතු සඳහා නාවික හමුදා නඩත්තු අංශයේ සහාය ලබාදීමට ද මේ වන විටත් පියවර ගෙන තිබේ.




පසුගිය සතියේ එනම්, මාර්තු 05 වන දින සූවස් ඇළ පසුකරමින් රතු මුහුදට ඇතුළු වූ මෙම යෝධ නෞකාව, අනතුර සිදුවන අවස්ථාවේදී සෞදි අරාබියේ අල් වජ් (Al Wajh) වෙරළට ඔබ්බෙන් වූ උතුරු රතු මුහුදු කලාපයේ මෙහෙයුම්වල නිරත වෙමින් සිට ඇත. USS Mahan, USS Bainbridge සහ USS Winston S. Churchill යන පරිවාර නෞකා තුනක් ද ගුවන් යානා ප්‍රවාහන නෞකාවට ආරක්ෂාව සපයමින් ඒ සමඟ ගමන් කරමින් තිබී ඇත.

2025 වසරේ ජූනි මාසයේ සිට අඛණ්ඩව සේවයේ යොදවා ඇති මෙම නෞකාවේ මෙහෙයුම් කාලය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කෙරුණු අතර, ඉරානය සමඟ ඇතිවූ යුදමය තත්ත්වයත් සමඟ පසුගිය මාසයේදී එය මැදපෙරදිග කලාපයට අනුයුක්ත කරන ලදී. යම් හෙයකින් මෙම නෞකාව අප්‍රේල් මස මැද භාගය දක්වා මෙලෙස මෙහෙයුම් සඳහා යොදවා ගන්නේ නම්, එය 2020 වසරේදී USS Abraham Lincoln නෞකාව විසින් දින 294ක් පුරා පිහිටුවා තිබූ පශ්චාත්-වියට්නාම් යුද යෙදවුම් වාර්තාව බිඳ හෙලනු ඇත. තවද, මෙම කාලසීමාව මැයි මාසය දක්වා දීර්ඝ වුවහොත්, එය වියට්නාම් යුද සමයේදී වාර්තා වූ දින 300කට අධික දීර්ඝතම නෞකා යෙදවුම් වාර්තාවලට ද සමාන වනු ඇත.

a-fire-on-board-the-american-gerald-r-ford