අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ආපනශාලාවල ආහාර සහ පාන වර්ගවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ද, කිරි තේ එකක සහ කෙටි ආහාර (Short eats) වල මිල රුපියල් 10කින් ද ඉහළ යනු ඇත.
මීට අමතරව බත් පාර්සලයක සහ කොත්තු මිල ද රුපියල් 25කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර, ආපනශාලා කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තීරණයට හේතු වී ඇත.මෙලෙස ආහාර මිල ගණන් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඊයේ (මාර්තු 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යාමයි. එම මිල සංශෝධනය යටතේ කිලෝග්‍රෑම් 12.5ක සම්මත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3,990ක් වේ. එසේම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ ගොස් නව මිල රුපියල් 1,602ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ ගොස් නව මිල රුපියල් 750ක් ලෙසත් සටහන් වේ.
මේ අතර, පාරිභෝගිකයින්ගේ ආර්ථික පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාර්තු 09 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ අතර, සයිනොපෙක් සහ අයි.ඕ.සී. සමාගම් ද ඊට සමගාමීව සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගත්තේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් වැඩි වී එහි නව මිල රුපියල් 317ක් වූ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් වැඩි වී රුපියල් 365ක් දක්වා ඉහළ ගියේය. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ ගොස් නව මිල රුපියල් 303ක් ලෙසද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් වැඩි වී නව මිල රුපියල් 353ක් ලෙසද නියම කර ඇත. මීට අමතරව භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 13කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 195ක් වශයෙනි.