ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් වෙත දෙවන වටයේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර නගරයේ ප්‍රදේශ කිහිපයකින්ම පිපිරුම් හඬ වාර්තා වී ඇත. මීට පැය 24කට පමණ පෙර අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වීමෙන් පසුව මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.
එමෙන්ම ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා, සන්නද්ධ අංශ ප්‍රධානියා, ඉහළම ජෙනරාල්වරයෙකු මෙන්ම උත්තරීතර නායකයාගේ ප්‍රධාන උපදේශකයෙකු ද මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර හරහා ඉරාන නායකත්වයේ පාලන ව්‍යුහය අඩපණ කිරීම අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වී තිබේ. මේ අතර, ඉරානයේ මධ්‍යම ටෙහෙරාන් නුවරට රැස්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් ඉරාන ධජ ලෙළදවමින් අමෙරිකාවට විරුද්ධව සටන් පාඨ කියන අයුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඉරාන සන්නද්ධ අංශ පවසන්නේ අමෙරිකාව ඉරාන ජනතාවගේ හදවතට පිහියෙන් ඇන ඇති බවත්, ඊට ප්‍රතිචාර ලෙස තම හමුදාවන් විසින් ඔවුන්ගේ හදවතට ද එලෙසම පහර දෙන බවත්ය. මැදපෙරදිග කලාපය පුරා ඉරානය විසින් නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, නගර කිහිපයකින්ම පිපිරුම් වාර්තා වේ. ඉරාන මිසයිල ප්‍රහාරයකින් ටෙල් අවිව් නුවර ගොඩනැගිල්ලකට හානි සිදුවී එක් පුද්ගලයෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. මීට අමතරව ඩුබායි සහ අබුඩාබි වැනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර වෙත ද ඉරානය විසින් බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒවා අතරමගදී විනාශ කිරීමේදී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඕමානය වෙත ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව වාර්තා වේ.
ඉරානයේ මෙම තර්ජනයන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය මෙතෙක් එල්ල නොකළ අන්දමේ දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නේ නම්, අමෙරිකාව ද මින් පෙර කිසිදිනෙක නොදුටු විරූ දැවැන්ත බලවේගයකින් ඔවුන්ට පහර දෙන බවයි. ෆ්ලෝරීඩා හි පිහිටි සිය නිවසේ සිට ජාතික ආරක්ෂක නිලධාරීන් සමඟ මෙම තත්ත්වය නිරීක්ෂණය කරන ජනාධිපතිවරයා, හමුදා මෙහෙයුම් අවසන් වූ පසු රජයේ පාලනය සියතට ගන්නා ලෙස ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටින වීඩියෝවක් ද නිකුත් කර ඇත. කෙසේ වෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රසය තුළ විවිධ මතභේද හටගෙන ඇති අතර, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් ඩිමොක්‍රටික් පාක්ෂික ඇන්ඩි කිම් යුද බලතල පිළිබඳ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියි.