කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස පහක පමණ කාලයක සිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන්දිනය සැමරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගිය 29 වැනිදාට යෙදී තිබූ ඇයගේ 27 වැනි උපන්දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කේක් ගෙඩියක් කපා සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇත. ආරක්ෂක හේතූන් මත සැකකරුවන්ට පිටතින් ආහාර පාන ගෙන ඒම තහනම් කර ඇති පසුබිමක, ඇයගේ සහෝදරයා සහ ඥාති කාන්තාවක් විසින් මෙම කේක් ගෙඩිය රැගෙනවිත් තිබේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව කල්තියා ලද තොරතුරකට අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව එම ස්ථානයට කඩා පැන කේක් ගෙඩිය පොලිස් භාරයට ගෙන මෙම සැමරුම ව්‍යර්ථ කර ඇත.
මෙම සිදුවීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානය වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ. වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත අදාළ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මේ වන විටත් විශේෂ විමර්ශන අංශයක් හරහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තහවුරු කළේය.
නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණයට ගිනි අවියක් රැගෙන යෑමේ සිද්ධියෙන් පසු ඉන්දියාවට සහ ඉන් අනතුරුව නේපාලයට පලාගොස් සිටියදී පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනිදා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකාරියව මෙරටට රැගෙන එනු ලැබුවාය. ඇයගේ උපන්දිනයට කේක් ගෙන ආ සහෝදරයාද මීට පෙර මෙම ඝාතන ප්‍රයත්නයට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූවෙකි. එලෙසම, අදාළ චෝදනාවටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇයගේ මව පිළිකා රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මෙවැනි සිදුවීම් වාර්තා වූ ගෙවුණු මෑත කාලයේ පළමු අවස්ථාව මෙය නොවේ. ඉෂාරා සෙව්වන්දි සමඟ නේපාලයේ සිට රැගෙන ආ, පෙනුමෙන් ඇයට සමානකමක් දක්වන “ඩුප්ලිකේට් ඉෂාරා“ ලෙස හැඳින්වූ යාපනයේ පදිංචි තරුණියක සමඟ සබඳතාවක් ගොඩනඟාගෙන ඇයට කෑම කැවීමට ගිය පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමටද මෑතකදී පියවර ගැනුණි. ඊට අමතරව, 2019 වසරේදී ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ උපන්දිනය වෙනුවෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සමරා තිබූ බව පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

