a-heart-attack-performance-in-oman-after-catching-midigama-chuti

ප්‍රබල පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීම සඳහා එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරු ඊයේ (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් 'මිදිගම චූටි' නැමැති තිස් අට හැවිරිදි මෙම සැකකරු ඕමානයේ සිට මෙලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත.

අලුයම 4.27 ට පමණ මස්කට් නුවර සිට පැමිණි ස්ලාම් ගුවන් සේවයට අයත් ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව නිල වශයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.




ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් පවා නිකුත් කර තිබූ මිදිගම චූටි, පසුගිය වසරේ ජුනි මාසයේදී ඕමාන් ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් විය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා ශ්‍රී ලංකාවට දැනුම් දීමෙන් පසු, මෙරට බලධාරීන් විසින් උදර්පන නීතියට අනුව ඔහුව භාර දෙන ලෙස ඕමානයෙන් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට ඕමාන් බලධාරීන්ගේ එකඟතාව හිමිවුවද, ඔහුට එරෙහිව එහි අධිකරණයක විභාග වෙමින් පැවති නඩුවක් හේතුවෙන් ඔහුව මෙරටට රැගෙන ඒම ප්‍රමාද විය. මෙම මස මුලදී එම නඩු කටයුතු අවසන් වීමෙන් පසුව, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕමානයට ගොස් ඔහුව සිය භාරයට ගැනීමට කටයුතු කළහ.

ඕමාන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම සැකකරු තමන්ට හෘදයාබාධයක් වැලඳී ඇති බවට ව්‍යාජ රඟපෑමක් කරමින් බලධාරීන් නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, දැඩි ආරක්ෂක රැකවල් මැද කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආ සැකකරු, මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත.




මීට පෙර 2023 වසරේදී මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන එම වසරේම ජුනි 30 වැනිදා මෙරටට ගෙන ආ 'හරක් කටා' සහ 'කුඩු සලිඳු' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී, දූෂිත පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව ඔවුන්ව පලා යාමට සැලසුම් කිරීම පිටුපස සිට ඇත්තේ මෙම මිදිගම චූටි නැමැත්තාය. එම උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව දෙපාර්තමේන්තුවට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මුදා ගැනීමට මොහු සැලසුම් කර තිබූ අතර, ඒ සඳහා හරක් කටාගේ තවත් ප්‍රධානතම ගෝලයෙකු වන 'මිදිගම රුවන්' නැමැත්තාගේ සහායද ලැබී තිබේ.

ඩුබායි රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් හේතුවෙන් 2024 වසරේදී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මිදිගම රුවන්, එම වසරේම මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මෙරටට ගෙන්වා ගනු ලැබීය. මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බවටද විමර්ශනවලදී තහවුරු වී ඇත. එම ඝාතනය සිදුවන කාලසීමාව වනවිට මිදිගම චූටි ඕමාන් ආරක්ෂක අංශ භාරයේ පසුවී තිබේ.

a-heart-attack-performance-in-oman-after-catching-midigama-chuti