බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ ප්‍රායෝගික පරීක්ෂණයක් අතරතුර රසායනික ද්‍රව්‍ය සහිත බීකරයක් පුපුරා යෑමෙන් හදිසි අනතුරක් සිදුව තිබේ. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූ එම පාසලේම ගුරුවරියක සහ පාසල් සිසුවියන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අද (23) රෝහල් ගත කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වයස අවුරුදු හතළිස් අටක ගුරුවරියක සහ එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු දහසයක සිසුවියන් දෙදෙනෙකි. අනතුරට මුහුණ දුන් ඔවුන් මේ වන විට දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එකොළොස්වන ශ්‍රේණියේ දරුවන්ගේ විද්‍යා විෂය පාඩමකට අදාළ පරීක්ෂණයක් සිදුකරමින් සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වය හටගෙන ඇති බවයි. එහිදී පරීක්ෂණය සඳහා භාවිත කළ කොන්ඩිස් අඩංගු බීකරයක් රත් කරමින් සිටියදී එය මෙලෙස හදිසියේම පුපුරා ගොස් ඇතැයි පොලිස් පරීක්ෂණ මගින් තවදුරටත් තහවුරු වී ඇත.

