2026 පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකානු-ඊශ්‍රායල යුද්ධයේ තුන්වන සතිය සනිටුහන් කරමින්, මාර්තු 18 වැනිදා ඉරානයේ ප්‍රධානතම ෆොසිල ඉන්ධන නිෂ්පාදන පහසුකම් ඉලක්ක කරගනිමින් ප්‍රථම සෘජු ප්‍රහාරය එල්ල විය. බුෂෙහ්ර් පළාතට ඔබ්බෙන් පර්සියානු බොක්කේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන සවුත් පාර්ස් සහ ඊට අනුබද්ධ අසලුයේ කේන්ද්‍රස්ථානය මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය බවට පත්විය.
කටාරය සමඟ හවුලේ භුක්ති විඳින මෙම ගෑස් නිධිය ඉරාන බලශක්ති ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් වන අතර එරට ගෑස් නිෂ්පාදනයෙන් අතිවිශාල ප්‍රතිශතයක් ඒ මගින් සපයනු ලබයි.ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඊශ්‍රායල වාර්තා තහවුරු කරන පරිදි මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කර ඇත්තේ ඊශ්‍රායලය විසිනි. මේ පිළිබඳව කල්තියා දැනුවත් කර තිබුණද ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය සඳහා සෘජුවම සම්බන්ධ වී නොමැත. කෙසේ වෙතත්, ඊශ්‍රායලය විසින් මෙම නිධියට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර, ඉරානය දිගින් දිගටම කටාරයට පහර දෙන්නේ නම් අදාළ කලාපයම සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.
ප්‍රහාරය හේතුවෙන් ඛනිජ තෙල් හා රසායනික කර්මාන්තශාලා මෙන්ම ගෑස් පිරිපහදු මධ්‍යස්ථාන වලට (3 සිට 6 දක්වා අදියරයන්ට) දැඩි හානි සිදුවී ඇති අතර, හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇත. සම්පූර්ණ හානිය මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති වුවද, දෛනික ගෑස් නිෂ්පාදනය ඝන මීටර මිලියන 100කින් පමණ අඩාල වී ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයෙන් ගෑස් ආනයනය මත සිය අවශ්‍යතාවලින් තුනෙන් එකක් සපුරාගන්නා ඉරාකයේ විදුලි උත්පාදනය අඩාල වී ඇති අතර, ඉරානය තුළ ද දරුණු බලශක්ති හා විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබේ.
මෙම තත්ත්වය ගෝලීය බලශක්ති වෙළඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර, බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාවට පැමිණි අතර එය එදින ඇතුළත 5%ක වර්ධනයක් මෙන්ම යුද්ධය ආරම්භ වූ දා සිට 50%ක පමණ ඉහළ යාමක් පෙන්නුම් කරයි. මීට සමගාමීව යුරෝපීය ස්වාභාවික ගෑස් මිල ද 7.5%කින් පමණ ඉහළ ගොස් ඇති අතර හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම කලාපීය සැපයුම් ජාලය තවදුරටත් අඩාල කිරීමට හේතු වී ඇත.
ප්‍රහාරයේ වගකීම ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට පවරන ඉරාන විප්ලවීය මුරගාය, ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථානවලින් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය. ඒ අනුව ඔවුන් සෞදි අරාබියේ සම්රෙෆ් පිරිපහදුව, ජුබයිල් සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් ගෑස් නිධිය සහ කටාරයේ රාස් ලෆාන් පිරිපහදුව සහ මෙසයිඩ් සංකීර්ණය ඇතුළු ස්ථාන වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. මේ හේතුවෙන් කටාරයේ රාස් ලෆාන් මධ්‍යස්ථානයට දැඩි අලාභහානි සිදුවී ඇත. මෙම තත්ත්වය "පූර්ණ ආර්ථික යුද්ධයක්" මෙන්ම දේශපාලනික සියදිවි නසාගැනීමක් ලෙස අසලුයේ ආණ්ඩුකාර එස්කන්දර් පසාලර් හැඳින්වූ අතර, මුළු ලෝකයම ගිලගන්නා පාලනය කළ නොහැකි ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අනතුරු ඇඟවීය. ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවට තර්ජනයක් වන මෙම මුල් ප්‍රහාරය භයානක සහ වගකීම් විරහිත ක්‍රියාවක් බව කටාරය ද ප්‍රකාශ කර ඇත.
'ඔපරේෂන් එපික් ෆියුරි' නමින් හැඳින්වෙන මෙම යුද්ධයේ ආරම්භක අවධියේදී ගෝලීය තෙල් අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ඉරාන නායකත්වය සහ හමුදා ඉලක්ක පමණක් තෝරාගනිමින් බලශක්ති යටිතල පහසුකම් මඟහැර තිබුණද, මේ වනවිට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. මීට පෙර මාර්තු 13-14 අතර කාලයේදී ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%ක් පමණ සිදුකෙරෙන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළ ද තෙල් අපනයන පහසුකම් වලට හානි කිරීමෙන් වැළකී සිටියේය. ඊට අමතරව මාර්තු 7-8 දිනවල ෂහ්රාන් සහ කරාජ් වැනි ටෙහෙරාන් ආශ්‍රිත ඉන්ධන ගබඩා වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දැවැන්ත ගිනිගැනීම්, ඉන්ධන හිඟයන් සහ විෂ සහිත "කළු වැසි" තත්ත්වයක් ද නිර්මාණය විය. ගල්ෆ් කලාපීය අසල්වැසියන්ගේ බලශක්ති නිෂ්පාදනය අඩාල වීම, ඩොලර් 100 ඉක්මවූ තෙල් මිල සහ රසායනික කර්මාන්තශාලා ගිනිගැනීමෙන් ඇතිවන දැවැන්ත පාරිසරික අවදානම් සමඟින් මෙම ගැටුම කලාපය පුරා තවදුරටත් උග්‍ර වෙමින් පවතී.

