මහනුවර, මහයියාව සහ වේවැල්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ලෙක්සිකන් (Lexicon) ජාත්‍යන්තර පාසල් පරිශ්‍රය තුළදී ඊයේ (12) පෙරවරු 11.30ට පමණ සිදුවූ අතිශය ඛේදනීය රිය අනතුරකින් එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ. අනතුරට ලක්ව ඇත්තේ එම පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පොල්ගොල්ල, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිව සිටි රවිඳු කුමාරගේ නැමැති කුඩා දරුවාය.මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ සිසුන් දෙදෙනා පාසල් භූමියේ පිහිටි ජල කරාමයකින් අත් සෝදමින් සහ ජලය පානය කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී පාසල් ජාලයේ සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද වන රාජකරුණා නැමැත්තාට අයත් නවීන මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී මෙම දරුවන්ව යට කරගෙන ගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාසලේ අධ්‍යක්ෂවරයා මුලින් පවසා ඇත්තේ, තමන් රියැදුරෙකු සමග පාසලට පැමිණ කාර්යාලය අසලින් බැස ගිය පසු රියැදුරා විසින් රථය බෑවුමක නවතා වෙනත් ස්ථානයකට ගොස් සිටියදී එය ඉබේම පල්ලමට ධාවනය වී ඇති බවයි. රථය ඉදිරියට ඇදෙනු දැක රියැදුරා වෙනුවට තමා වහා දිවගොස් රියදුරු අසුනට නැග එය පාලනය කිරීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක වූ බව ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබේ.
එහෙත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අදාළ අවස්ථාවේ රථයේ වෙනත් රියැදුරෙකු නොසිටි බවත්, අධ්‍යක්ෂවරයා විසින්ම වාහනය පදවාගෙන ආ අවස්ථාවේදී රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත්ය. වාහනය හැන්ඩ් බ්රේක් නැතිව 'පාක් කිරීමේ' දෝෂය වෙනකෙකු මත පැටවීමට ඔහු මෙසේ වැරදි තොරතුරු සපයන්නට ඇතැයි ඒ ගැන අදහස් දකවා ඇති දෙමාපියෙකු සඳහන් කර ඇත. අධ්‍යක්ෂවරයාගේ වාහනය තරමක උස් ස්ථානයක පාක් කර තිබෙන අතර එය පහසුවෙන් පහළට ගමන් කිරීමට ඉඩතිබෙන තැනක්වූ බව කියැවිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සැකකාර අධ්‍යක්ෂවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරන ආකාරයේ 'රියදුරෙකු' අත්අඩංගුවට පත්ව නැත.
ඇසින් දුටුවන්ගේ සහ සැකකරුගේ පරස්පර ප්‍රකාශ හේතුවෙන් සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පොලීසිය පාසල් පරිශ්‍රයේ ඇති සී.සී.ටී.වී දර්ශන ලබාගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. වසර විස්සක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර පාසල මහනුවරට අමතරව කුරුණෑගල සහ මාතලේ යන ප්‍රදේශවලද සිය ශාඛා පවත්වාගෙන යනු ලබයි.
මෙම අනතුර සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කෝට්ටගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.