වර්තමානයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බලශක්ති සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත්, ඊට මුහුණ දීම සඳහා රජය මේ වන විටත් විධිමත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. මෙම ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් නොගෙන පූර්ණ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ අතර, එම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ ද පිළිගැනීමට ලක්ව ඇති බව පෙන්වා දුන්නේය.
පසුගිය නොවැම්බර් මාසයේ අග භාගයේදී රටට බලපෑ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ආර්ථිකයට ඩොලර් බිලියන 4.1ක පමණ දැවැන්ත හානියක් සිදුවුවද, ශක්තිමත් මූල්‍ය කළමනාකරණය හරහා එය යථා තත්ත්වයට පත් කරගැනීමට රජයට හැකි වූ බව හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මහ බැංකුව හරහා ඩොලර් මිලියන 700ක මුදලක් වෙළඳපොළෙන් මිලදී ගෙන ඇති අතර, දේශීය ආදායම්, සුරාබදු සහ රේගු යන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක ද අපේක්ෂිත මට්ටමට වඩා වර්ධනය වී තිබේ. එබැවින් අභ්‍යන්තර කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව මේ වන විටත් තහවුරු කර ඇති ආර්ථිකය, ඉදිරියේදී පැමිණෙන බාහිර ගෝලීය කම්පනයන්ට ද සාර්ථකව මුහුණ දෙනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාලය දැඩි ලෙස අඩාල වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ මෙට්‍රික් ටොන් අනූ දහසක බොරතෙල් නෞකාවක් සහ පෞද්ගලික අංශයේ ඉන්ධන නෞකාවක් නියමිත දිනට දිවයිනට ළඟා වීමේ ප්‍රමාදයක් පවතින බව රජය හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා 'ආර්ථික ආවේක්ෂණ කමිටුවක්' පත් කර ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා මිත්‍ර රටවලින් සහාය ලබාගැනීමට ද සාකච්ඡා අරඹා තිබේ. මීට අමතරව, ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් කඩිනමින් ලබාගැනීම සඳහා නව ටෙන්ඩර් කැඳවා ඇති අතර, හදිසි මිලදී ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය සහිත විශේෂ කමිටුවක් ද පත් කර ඇත. තවද, අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ට ඩොලර් මාර්ගයෙන් සෘජුවම ඉන්ධන ආනයනය කරගැනීමට රජය අවසර ලබා දී ඇති අතර, මේ වන විටත් ඒ සඳහා ආයතන තිහක් පමණ ලියාපදිංචි වී සිය කටයුතු ආරම්භ කර තිබේ.
ගෘහස්ථ ගෑස් සහ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. මාර්තු මාසයේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 33,000ක් වුවද, ආරක්ෂිත පියවරක් ලෙස මෙට්‍රික් ටොන් 38,000ක් ආනයනය කර මේ වන විටත් ගබඩා කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය. ගල් අඟුරු සැපයුම යටතේ නෞකා විසිතුනකින් දහතුනක් මේ වන විටත් ලැබී ඇති අතර, ඉතිරි හිඟය පියවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය මත විශ්වාසදායක සැපයුම්කරුවෙකුගෙන් නෞකා පහක් කඩිනමින් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.
සීමිත ඉන්ධන සංචිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමේ අරමුණින් QR කේත ක්‍රමය යළි හඳුන්වා දී ඇති අතර, මේ වන විට මිලියන පහකට ආසන්න පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී ඇත. කෙසේ වෙතත්, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ධීවර වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම ක්‍රමයෙන් පරිබාහිරව විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ සෞඛ්‍ය අංශය සඳහා මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමටත්, යල කන්නයේ අස්වැන්න නෙළන ගොවීන්ට සහ ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය අමතර ඉන්ධන කෝටාවන් ලබාදීමටත් අදාළ අමාත්‍යාංශ හරහා කටයුතු සම්පාදනය කර තිබේ.
උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන පරිදි මාස තුනක් දක්වා ආරක්ෂිත තොග රැස්කර තබාගැනීමට ආනයනකරුවන් සමඟ එකඟතාවකට පැමිණ ඇති අතර, සතොස ඇතුළු රජයේ ආයතන හරහා ද බෙදාහැරීම් ජාලය ශක්තිමත් කර ඇත. මීට සමගාමීව, රාජ්‍ය අංශයේ ඉන්ධන පරිභෝජනය සියයට 25කින් අවම කිරීමේ අරමුණින් බදාදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, කාර්යාල දින දහය තුළ සේවාවන් බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ. තවද, මෙම අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වන ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ණය සහන සහ රක්ෂණ ආවරණ ලබාදීම ඇතුළු සහනදායී ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මූලිකත්වයෙන් වෙනම කමිටුවක් ස්ථාපිත කර ඇති බව ද වාර්තා වේ.

