if-the-price-increases-further-fuel-subsidy-will-be-given

ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් කෙටි කාලීන ඉන්ධන සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළ අතර, ගෝලීය වශයෙන් පවතින අර්බුදකාරී තත්ත්වයන් මත මෙරටද ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවූ බව පෙන්වා දුන්නේය.




ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් තෙල් මිල ඉහළ දමා ඇති පසුබිමක, ශ්‍රී ලංකාව තුළද මෙම පියවර නොගත්තේ නම් ඉන්ධන ආනයනය කරන පෞද්ගලික සමාගම් සිය ආනයන කටයුතු සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉඩ තිබූ බව රජයේ පාර්ශ්වයෙන් පෙන්වා දෙයි. එසේ වූවා නම් අඛණ්ඩව පවත්වාගෙන යන තෙල් සැපයුමට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් පැවති බවද කැබිනට් ප්‍රකාශකවරයා එහිදී පැහැදිලි කළේය.

රජය සතුව මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් පවතින බවට මීට පෙර ප්‍රකාශ කර තිබියදීත් මිල ඉහළ දැමුවේ මන්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය. පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන පරිභෝජනය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව අතිරේකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 23,000ක් නිකුත් කිරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් පැවති තෙල් සංචිත සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර, අලුතින් තෙල් ආනයනය කිරීමට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ ගිය මිල ගණන් යටතේ බව හෙතෙම සඳහන් කළේය.




ඇත්ත වශයෙන්ම ඉන්ධන මිල මීට වඩා ඉහළ අගයකින් වැඩි විය යුතුව තිබුණද, එය දේශීය ආර්ථිකයට දැරිය නොහැකි බැවින් අවම මට්ටමකින් මිල සංශෝධනය කළ බව රජය පවසයි. ගෝලීය බොරතෙල් මිල සියයට 37.76කින් පමණ ඉහළ ගොස් ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් මිලද ඊට සාපේක්ෂව වැඩි වී තිබේ. ලොව දැවැන්ත තෙල් සංචිත සහිත රටවල් මෙන්ම සෞදි අරාබිය වැනි රටවල්ද මේ වන විට මිල ඉහළ නංවා ඇති අතර, සමහර රටවල් බලශක්ති භාවිතය සීමා කරමින් සියයට අනූව ඉක්මවූ ප්‍රතිශතවලින් ඉන්ධන මිල ඉහළ දමා ඇත. මීට අමතරව, මෙරට ඩොලර් සංචිතය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අරමුණද මෙම මිල වැඩි කිරීම කෙරෙහි බලපා තිබේ. ජනතාවද ඉදිරියේදී තම ඉන්ධන පරිභෝජනය සීමා කරගනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

පවතින යුදමය තත්ත්වයන් හමුවේ මෙම මාසය අවසානයේ යළිත් ඉන්ධන මිල වැඩිවීමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත්, අර්බුදය සමනය වීමට හෝ තවදුරටත් ඇදී යාමට ඉඩ ඇති බැවින් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද රාජ්‍ය සේවක වැටුප් හෝ දීමනා කප්පාදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ජනතාවට ලබාදෙන සහනද කිසිසේත් අඩු නොකරන බව ඔහු අවධාරණය කළේය. ආර්ථිකයේ කිසිදු අංශයක් අඩාල නොකරමින් රටේ ඉදිරි ගමන අඛණ්ඩව පවත්වාගෙන යන බව රජයේ ස්ථාවරය වී තිබේ.