ceypetco-president-is-not-the-one-who-brings-fuel-to-sri-lanka-from-the-middle-east---dont-be-alarmed

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි.

මේ වන විට ඉරානය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාව අනියත බියකට පත්ව ඉන්ධන පිරවුම්හල් වෙත විශාල වශයෙන් එක්රැස්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ඔහු මෙම කරුණු පැහැදිලි කර තිබේ.




මේ වන විටත් රට තුළ මාසයකට වඩා වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන සංචිත ගබඩා කර ඇති බැවින් පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙයි. දැනට පවතින සහ ළඟා වෙමින් පවතින තොග ගණනය කිරීමේදී ඉදිරි දින 37ක කාලය සඳහා අවශ්‍ය පෙට්‍රල් ද, දින 35ක් සඳහා ප්‍රමාණවත් ඔටෝ ඩීසල් ද මෙරට සතුව පවතින බව තහවුරු කර ඇත. එසේම, ගුවන් යානා ඉන්ධන ද ඉදිරි දින 47ක කාලයක් දක්වා කිසිදු හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතින අතර, ඉදිරියේදී කිසිදු නැවක් මෙරටට නොපැමිණිය ද දැනට පවතින තොග මගින් අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යාමට හැකි බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හෝ මැදපෙරදිග අර්බුදය මෙරට ඉන්ධන සැපයුමට සෘජුවම බලපෑම් නොකිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල් බහුතරයක් එම කලාපයෙන් ආනයනය නොකිරීමයි. ප්‍රවාහන ගාස්තු සහ දුර ප්‍රමාණය සැලකිල්ලට ගෙන, මෑත කාලයේ සිට මෙරටට වැඩි වශයෙන් ඉන්ධන ගෙන්වනු ලබන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව යන රටවලිනි. බොරතෙල් සැපයුමට යම් බලපෑමක් එල්ල වුවද, ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය සංචිත ද දැනටමත් මාසයක කාලයක් සඳහා සුරක්ෂිත කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.




මෙම ගෝලීය තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත. ලෝකයම මෙවැනි තත්ත්වයක් සඳහා පෙර සිටම සූදානමින් පසුවූ බැවින් විකල්ප සැපයුම් මාර්ග මේ වන විටත් තහවුරු කර ඇති අතර, ඉන්ධන හිඟයක් නිර්මාණය වේ යැයි අනියත බියක් ඇති කරගනිමින් පෝලිම්වල රැඳී නොසිට සාමාන්‍ය පරිදි තම කටයුතු කරගෙන යන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

gossiplanka image