ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2026 වසරේ මුල් මාස දෙක තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සතිපතා වාර්තාවට අනුව, 2026 පෙබරවාරි මස 01 වනදා සිට 28 වනදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 279,328 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
මෙය පෙර වසරවලට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන අවස්ථාවකි.පෙබරවාරි මාසයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී, 2026 වසරේ පැමිණි 279,328 ක සංචාරකයින් සංඛ්‍යාව 2025 වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වූ 240,217 ක පැමිණීමට වඩා සියයට 16.2 ක වර්ධනයක් වේ. තවද, සංචාරකයින් 235,618 ක් පැමිණි 2018 වසරට සාපේක්ෂව බලන කල, මෙම වසරේ පෙබරවාරි මාසයේදී සියයට 18.5 ක ප්‍රතිශතයකින් සංචාරක පැමිණීම් ඉහළ ගොස් ඇති බව දත්ත මගින් තහවුරු වේ.
මෙම ධනාත්මක ප්‍රවණතාව 2026 වසරේ ජනවාරි මාසයේදී ද දැකගත හැකි වූ අතර, එම මාසය තුළ සංචාරකයින් 277,327 ක් දිවයිනට පැමිණ තිබුණි. එය 2025 ජනවාරි මාසයට (සංචාරකයින් 252,761) සාපේක්ෂව සියයට 9.7 ක සහ 2018 ජනවාරි මාසයට (සංචාරකයින් 238,924) සාපේක්ෂව සියයට 16.0 ක ඉහළ යාමකි. මෙම අඛණ්ඩ සංචාරක පැමිණීම් වාර්තා වීමත් සමග, 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මුල් මාස දෙක අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655 ක් ලෙස සටහන්ව තිබේ.