හොංකොං සිට ලන්ඩන් නුවර බලා පියාසර කරමින් තිබූ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් තුළ හැට හැවිරිදි පමණ කාන්තාවක මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ. ගුවන් යානය ගුවන්ගත වී පැය එකක පමණ කාලයක් ගත වන විට මෙම මරණය සිදුවී ඇති අතර, ඉන්පසුව තවත් පැය දහතුනක පමණ කාලයක් ඇයගේ මළ සිරුර යානය තුළම තබාගෙන ගමනාන්තය දක්වා පියාසර කිරීමට කාර්ය මණ්ඩලයට සිදුවී ඇත.
මියගිය කාන්තාවගේ සිරුර ගුවන් යානයේ ආහාරපාන පිළියෙළ කරන සහ උපකරණ ගබඩා කරන පසුපස කොටසේ බ්ලැන්කට්ටුවකින් ඔතා තැබීමට කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ. මුලදී සිරුර වැසිකිළිය තුළ තැබීමට අදහස් කළද, පසුව එය මෙලෙස පසුපස කොටසට ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, එම ස්ථානයේ බිම යම් උණුසුම් තත්ත්වයක පැවතීම හේතුවෙන් සිරුරෙන් ක්‍රමයෙන් දුර්ගන්ධයක් වහනය වීමට පටන් ගෙන ඇති අතර, මේ හේතුවෙන් යානයේ පසුපස අසුන්වල ගමන් කළ මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ දීමට සිදුවිය.
ගුවන් ගමනක් අතරතුර මගියෙකු මිය ගියද, ජාත්‍යන්තර ගුවන් සේවා නීතිරීතිවලට අනුව එය සෑම විටම යානයක හදිසි තත්ත්වයක් ලෙස නොසැලකෙන බැවින් යානය අතරමඟ ගොඩනොබා ලන්ඩන් නුවර දක්වාම පියාසර කිරීමට නියමුවා තීරණය කර තිබේ. යානය ලන්ඩන් නුවරට ගොඩබෑමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය යානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කළ අතර, ඒ සඳහා ගත වූ මිනිත්තු 45ක පමණ කාලය තුළ සෙසු මගීන්ට තම අසුන්වලට වී රැඳී සිටීමට සිදුවිය. මෙම සිදුවීමේදී අදාළ සියලුම ක්‍රියාපටිපාටීන් නිසි පරිදි අනුගමනය කළ බවත්, මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් බ්‍රිතාන්‍ය ගුවන් සේවය නිවේදනය කර ඇත.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ මාර්ගෝපදේශයන්ට අනුව, ගුවන් ගමනක් අතරතුර මගියෙකු අසනීප වුවහොත් ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට කාර්ය මණ්ඩලය උපරිම උත්සාහයක් දරනු ලබයි. එහෙත් මරණයක් සිදුවූ විට සිරුර ආවරණය කර හිස් අසුනක හෝ යානයේ පසුපස කොටසේ තැබීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. හෘදයාබාධයක් වැනි ස්වභාවික හේතුවක් මත සිදුවන මරණයකදී ගුවන් සමාගම විසින් වන්දි ගෙවීමක් සිදු නොකරන අතර, වන්දියක් හිමිවන්නේ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් බවක් හෝ ප්‍රමාදයක් ඔප්පු වුවහොත් පමණි. ගුවන් සේවා අධිකාරීන්ගේ නීතිවලට අනුව යානයක හදිසි තත්ත්වයක් ලෙස සැලකෙන්නේ ගින්නක්, එන්ජින් දෝෂයක්, කැබින් පීඩනය අඩුවීමක් හෝ දරුණු වෛද්‍යමය අවශ්‍යතාවයක් වැනි යානයට සහ මගීන්ගේ ජීවිතවලට සෘජු තර්ජනයක් එල්ල වන අවස්ථාවන්ය.

