when-there-is-a-small-incident-you-cannot-say-no-to-national-security---fonseka

වත්මන් ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බරපතළ තර්ජනයක් නිර්මාණය වී නොමැති බවත්, සුළු සිදුවීම් ඉස්මතු කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජය තුළ අනවශ්‍ය බියක් ජනිත කිරීම හුදෙක් දේශපාලන වාසි අපේක්ෂාවෙන් සිදුකරන්නක් පමණක් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.




මෑත භාගයේ වාර්තා වූ ඝාතන සිද්ධීන් කිසිසේත්ම දේශපාලන අරමුණු මත සිදුවූ අපරාධ නොවන අතර ඒවා හුදෙක් පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් පමණක් බව හෙතෙම පෙන්වා දෙයි. පෙර පැවති පාලන සමයන්හිදී දේශපාලන රැකවරණය මධ්‍යයේ පාතාලය පෝෂණය වුවද, වත්මන් ආණ්ඩුවට එවැනි කිසිදු පාතාල සබඳතාවක් නොමැති බැවින් මෙම අපරාධකරුවන් කඩිනමින් මර්දනය කර රට යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව රජයට පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අතීතයේ දී ජාතිවාදය අවුස්සමින් සහ කැරලි නිර්මාණය කරමින් විවිධ කණ්ඩායම් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට උත්සාහ කළ ද, ඒ සම්බන්ධයෙන් සමාජය අනවශ්‍ය ලෙස කලබලයට පත් විය යුතු නැති බව ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිය රාජකාරි නිසි අයුරින් ඉටු කරමින් සිටින අතර, එක් අයෙකු හෝ දෙදෙනෙකුගේ මැදිහත්වීමෙන් සිදුවන සුළු අපරාධ මගින් සමස්ත රටේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල කළ නොහැකි බව ෆොන්සේකා මහතාගේ විශ්වාසයයි. එසේම යතුරුපැදිවලින් පැමිණ සිදුකරන වෙඩි තැබීම් වැනි ක්ෂණික අපරාධ, සම්පූර්ණ හමුදාවම කොළඹ නගරයට කැඳවුවද සියයට සියයක්ම වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.




වත්මන් රජය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට අතීතයේ සිදුවූ මෙවැනි අත්දැකීම් පිළිබඳව පුළුල් අවබෝධයක් පවතින නිසා වර්තමාන තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මේ වන විට රට තුළ සිදුවෙමින් පවතින අපරාධ සම්බන්ධයෙන් කිසිලෙසකින්වත් සතුටු විය නොහැකි බවත්, ඊට එරෙහිව රජය විසින් කඩිනම් හා දැඩි පියවර ගත යුතුව ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.