සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැලකෙන 22 හැවිරිදි තරුණියකගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, රුසියාවේ නිෂ්පාදිත "බ්‍රෙනෙකි" (BRENNEKE) ලෙස සඳහන් ෂොට්ගන් උණ්ඩයක්, ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,260ක් සොයාගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ. අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත පසුවන මෙම සැකකාරිය ලබාදුන් තොරතුරු වලට අනුව, ගල්කිස්ස පිරිවෙන පාරේ ෆ්ලවර් ඇවනියු හි පිහිටි කුලී නිවසක් පරීක්ෂා කිරීමේදී පසුගිය 11 වැනිදා මෙම ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පරීක්ෂණ සඳහා පදනම වැටී ඇත්තේ, මීට දින කිහිපයකට පෙර රත්මලාන ජයසුමනාරාම පාර ප්‍රදේශයේදී මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකිනි. එම කඳවුරේ සංවිධානාත්මක අපරාධ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 19,350ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකාරිය මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබුණි.
පසුව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද හෙට්ටිආරච්චි මහතාගේ මඟපෙන්වීම යටතේ, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මිලාන් රාජපතිරණ මහතා විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත තවදුරටත් විමර්ශන සිදුකර ඇත. එහිදී ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු විසින් ඇය වෙත ලබාදුන් බව කියන අදාළ පතරොම මෙන්ම, යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා යොදාගැනීමට සකස් කළ ව්‍යාජ අංක තහඩු 15ක් අදාළ කුලී නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස සොයාගත් ව්‍යාජ අංක තහඩු යොදාගනිමින් පසුගිය කාලසීමාව තුළ ගල්කිස්ස, කොහුවල සහ දෙහිවල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විවිධ අපරාධ ක්‍රියාවන් සිදු කර ඇත්දැයි සෙවීම සඳහා පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. අපරාධ ජාලයේ සෙසු තොරතුරු සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව අනාවරණය කරගැනීම උදෙසා අත්අඩංගුවේ පසුවන 22 හැවිරිදි සැකකාරියගෙන් ඉදිරියටත් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට නියමිත බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.