update-after-the-akuregoda-murder-it-was-revealed-how-the-brothers-grabbed-a-bike-and-ran-away---the-two-brothers-brought-weapons

අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 13 වැනිදා පස්වරු 5:20 ට පමණ සිදුවූ මෙම සාහසික අපරාධයෙන් ජීවිතක්ෂයට පත්වූයේ 45 හැවිරිදි නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ 42 හැවිරිදි නිසංසලා මානී නැමති අඹුසැමි යුවළකි.




ඝාතකයන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ පිස්තෝලයක් භාවිතා කරමින් අදාළ යුවළ ගමන් කළ මෝටර් රථය හරස් කර මෙම වෙඩි තැබීම සිදුකර ඇත. අනතුරුව කොට්ටාව දෙසට පළාගොස් ඇති ඔවුන්ගේ මෝටර් රථය යතුරුපැදියක ගැටී ඇති අතර, එහි අංක තහඩුව එම ස්ථානයේ දමා ගොස් තිබියදී සොයාගැනුණි. පසුව, සැකකරුවන් පළාගිය මෝටර් රථය බද්දේගම, අගලිය මුල්කඩ පාලම අසල ගිනිතබා විනාශ කර තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන ඔස්සේ පොලිස් කණ්ඩායම් දොළහක් යොදවා සිදුකළ පුළුල් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. වෙඩිකරුවන්ට අවශ්‍ය ගිනිඅවි අකුරේගොඩට ආසන්න ප්‍රදේශයකදී කළු පැහැති මෝටර් රථයකින් ගෙනවිත් ලබාදීමේ චෝදනාව මත කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අතුරුගිරියේ පදිංචි 20 සහ 24 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි. මෙම සහෝදරයන්ට නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන අතර, මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවන් වන මල්වානේ ටුටු සහ මෝදර නිපුන් යන අයගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.




අවි ප්‍රවාහනයට යොදාගත් කළු පැහැති මෝටර් රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක ය.

අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ නීතිඥවරයාගේ සහ බිරිඳගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පිටිගල සුදුවැල්ලාව පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි. දරුවන් යහමඟට ගත් පූර්වාචාර්යවරුන් බඳු වූ දෙමාපියන් මෙලෙස අහිමි වීම දැඩි කම්පනයකට තුඩු දී ඇති අතර, මෙරට ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය සහමුලින්ම තුරන් කළ යුතු බවට එහි රැස්ව සිටි පිරිස දැඩිව අවධාරණය කළහ. 2012 වසරෙන් පසු නීතිඥවරුන් පිරිසක් මෙලෙස විරෝධතාවක් දක්වමින් මෙම අපරාධයේ මූලය සොයාගන්නා ලෙසත්, මෙවැනි සිදුවීම් නැවත කිසිදිනෙක සිදුනොවීමට වගබලා ගත යුතු බවටත් බලධාරීන්ට බලකර සිටියහ.