2026 අයිසීසී පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ 2026 පෙබරවාරි 16 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තීරණාත්මක තරගයකින් වත්මන් ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 12ක් ඉතිරිව තිබියදී පන්දුවාර 18ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 184ක් ලබා ගනිමින් එම ඉලක්කය පහසුවෙන් පසුකර ගියහ.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටය සඳහා සිය ස්ථානය තහවුරු කර ගත් අතර, ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට විසිවීමේ දැඩි අවදානමකට මුහුණ දීමට මේ හරහා සිදුවී ඇත.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් වේගවත් තණතීරුවක පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෝ ඉතා ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්හ. ට්‍රැවිස් හෙඩ් පන්දු 29කින් ලකුණු 56ක් ද, නායක මිචෙල් මාෂ් පන්දු 27කින් ලකුණු 54ක් ද රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 8යි පන්දු 3ක් තුළ ලකුණු 104ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. පවර් ප්ලේ (Powerplay) අවස්ථාව නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 70ක් ලබා සිටි ඔවුන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය ඕස්ට්‍රේලියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට රැගෙන යනු ඇතැයි දිස්විය.
එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය නැවතත් තමන් වෙත නතු කර ගත්තේ ඕස්ට්‍රේලියානු මැදපෙළ සහ පසුපෙළ අනපේක්ෂිත කඩා වැටීමකට ලක් කරමිනි. ලකුණු 104කට කිසිදු කඩුල්ලක් නොදැවී තිබූ තත්ත්වයේ සිට ඉතිරි ලකුණු 77 තුළ කඩුලු 10ම දවාගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු සහ වේග පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 181කට සීමා වූ අතර, ග්ලෙන් මැක්ස්වෙල් ප්‍රමුඛ පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ශ්‍රී ලාංකිකයෝ අවසන් පන්දුවාර දෙක තුළ ලකුණු 6කට කඩුලු 4ක් දවා ගත්හ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 37කට කඩුලු 3ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 36කට කඩුලු 2ක් දවාගත් අතර, දක්ෂ පන්දු රැකීම මෙන්ම නිසි ඉලක්කයට පන්දු යැවීම මෙම පෙරළියට ප්‍රධාන විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක් ඉක්මනින් දැවී ගියද, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්ව ඉනිම ස්ථාවර කළහ. තම වගකීම මැනවින් හඳුනාගත් පැතුම් නිස්සංක පන්දු 52ක් පමණක් වැය කරමින් හතරේ සහ හයේ පහරවල් ද සමගින් නොදැවී රැස් කළ වේගවත් ශතකය ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම නියමුවා විය. ඔහුට අනගි සහයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළේය. ඔවුන් දෙදෙනාගේ සාර්ථක සබඳතාවෙන් පසු පවන් රත්නායකගේ සහයද ඇතිව ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 184ක් ලබා ගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළේය. මීට පෙර පන්දු රකිමින් සිටියදී ද නිස්සංක විසින් ලබාගත් විශිෂ්ට උඩපන්දුව සහ ඔහුගේ මෙම අගනා ඉනිම තරගාවලියේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දස්කම් අතරට එක්වී තිබේ.
තරගයේ වීරයා සම්මානය පැතුම් නිශ්ශංකට හිමි විය.


