the-woman-and-the-wife-next-door-tied-up-the-drunken-husband-and-killed-him

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවන් දෙදෙනෙකුගේ පහර කෑමට ලක්වූ තිස්දෙහැවිරිදි පුද්ගලයෙකු ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෝරුවදණ්ඩ, සල්ලයන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බේකරි සේවකයෙකු වන අත්තනායක මුදියන්සේලාගේ ගාමිණී පද්ම කුමාර නැමැති අයෙකි.




පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, මියගිය පුද්ගලයා සිද්ධිය වූ දින අලුයම් කාලයේදී අධික ලෙස මත්පැන් පානය කර සිය අසල්වැසි නිවසකට ගොස් ඇත. එහිදී ඔහු අදාළ නිවසේ දොර ජනෙල්වලට පහර දෙමින් නිවැසියන්ට හිරිහැර වන ආකාරයෙන් කලහකාරී ලෙස හැසිරී තිබේ. පසුව එම නිවසේ සිටි කාන්තාව විසින් මේ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳට දැනුම් දී ඇත.

අනතුරුව අදාළ ස්ථානයට පැමිණි බිරිඳ තම සැමියාට නිවසට යන ලෙස දැනුම් දී ඇති නමුත්, ඔහු ඊට අවනත නොවී පරුෂ වචනයෙන් බැනවදිමින් තවදුරටත් කලහකාරී ලෙස හැසිරී තිබේ. ඉන් කෝපයට පත් බිරිඳ සහ අසල්වැසි කාන්තාව එක්ව මෙම පුද්ගලයාව එම නිවසේ කණුවක රෙදි පටියක් ආධාරයෙන් ගැටගසා ඇති බවත්, පසුව අසල තිබූ ඉදලක් රැගෙන ඔහුට දැඩි ලෙස පහර දී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. මෙම දරුණු පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.




මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසු හොරණ මූලස්ථාන පොලීසිය විසින් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව, මෙම මාරාන්තික පහරදීමට සම්බන්ධ වූ මියගිය පුද්ගලයාගේ 32 හැවිරිදි බිරිඳ සහ අනෙක් සැකකාර කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.