
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පහසුව වෙනුවෙන් අලුතින් ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන හෙවත් ඊ-ගේට් (e-gate) පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩාල වීම හේතුවෙන් විදෙස්ගතව සිට පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය 28 වැනිදා සිට නිල වශයෙන් හඳුන්වා දුන් මෙම පද්ධතිය මගින් ගමන් බලපත්‍ර නිසි පරිදි ස්කෑන් නොවීම නිසා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ද හටගෙන ඇති අතර මේ හේතුවෙන් මගීන්ගේ කාලය අනවශ්‍ය ලෙස වැය වන බවට චෝදනා එල්ල වී තිබේ.
ජපන් රජය විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 84ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද මෙම පද්ධතියේ මූලික අරමුණ වූයේ ආගමන විගමන නිලධාරියෙකුගේ මැදිහත් වීමකින් තොරව තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර දත්ත කියවා බැලීමයි. කෙසේ වෙතත් අපේක්ෂා කළ කාර්යක්ෂමතාව එම පද්ධතියෙන් නොලැබීම හේතුවෙන් මගීන්ට සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීමට සහ මගීන්ට සහාය වීමට අමතර නිලධාරීන් යෙදවීමට ද ගුවන් තොටුපොළ බලධාරීන්ට සිදුව ඇත.
මෙම තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පූර්ව මගී තොරතුරු පද්ධතියේ (Advanced Passenger Information - API) දත්ත අසම්පූර්ණ වීම මීට බලපා ඇති ප්‍රධාන හේතුව බවයි. ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජූඩ් ප්‍රනාන්දු මහතා සඳහන් කරන පරිදි අදාළ ගුවන් සමාගම් විසින් නියමිත වේලාවට මගී දත්ත ලබා නොදීම තුළින් ඊ-ගේට් පද්ධතියට ස්වයංක්‍රීයව මගීන් හඳුනා ගැනීමට බාධා එල්ල වී තිබේ.
මෙම බාධා මධ්‍යයේ වුවද මේ වන විට මගීන් විසි දහසකගේ පමණ ගමන් බලපත්‍ර මෙම නව පද්ධතිය හරහා සාර්ථකව ස්කෑන් කර ඇති අතර පද්ධතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී සාමාන්‍ය පරිදි කවුන්ටර වෙත යොමු වීමට මගීන්ට සිදුව ඇත. ඔස්ට්‍රියාව සහ බෙල්ජියම වැනි රටවල පවා මෙවැනි පද්ධති සියයට සියයක් සාර්ථක වීමට වසර දෙකක පමණ කාලයක් ගත වූ බව පෙන්වා දෙන නිලධාරීන්, පවතින ගැටලු මඟහරවා ගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව අවධාරණය කරයි.
මීට අමතරව ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර විදෙස් ගුවන් තොටුපොළවල ඇති ඊ-ගේට් යන්ත්‍ර මගින් කියවීමට නොහැකි බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කරුණු පැහැදිලි කර තිබේ. දැනට භාවිත වන මෙරට ගමන් බලපත්‍රය යන්ත්‍ර මගින් කියවිය හැකි වුවත් එය ඊ-පාස්පෝට් (e-passport) වර්ගයේ නොවන බැවින් විදෙස් ඊ-ගේට් පද්ධතිවලදී ස්කෑන් නොවිය හැකි බවත්, ඒ පිළිබඳව විදෙස් ගුවන් තොටුපොළවලින් නිල පැමිණිලි ලැබී නොමැති බවත් ජූඩ් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.