teachers-defeat-hunger-strike-agrees-to-write-exams-and-ends-fast

වසර හතක පමණ කාලයක් තිස්සේ පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කළ සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දින නවයක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය අද (03) දිනයේදී නිල වශයෙන් අවසන් කර තිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද උදෑසන පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව ය.




එහිදී ඇති කරගත් එකඟතාවයට අනුව, දැනට පාසල්වල සේවය නියුතු සංවර්ධන නිලධාරීන් ඉදිරියේදී පැවැත්වෙන ගුරු සේවා විභාගය සඳහා පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති අතර, විභාගයට පෙනී සිටින නිලධාරීන් මාස හයක් ඇතුළත ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වී ඇත. පාසල් සංවර්ධන නිලධාරීන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ වසර ගණනාවක් ඉගැන්වීම් කළ තමන් කඩිනමින් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසයි.

තමන්ගේ මෙම ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය දින කිහිපය පුරාම මෙම පිරිස මාරාන්තික උපවාසයක නිරත වූ අතර, ඊට එක්ව සිටි සාමාජිකයින් හත් දෙනාගෙන් හය දෙනෙකුගේම සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම ඔවුන් රෝහල් ගත කිරීමට ද පියවර ගැණුනි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී පාසල් සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීමේ අත්තනෝමතික ක්‍රියාවලිය වහාම නතර කිරීමටත්, එමඟින් ඔවුන්ට බාධාවකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතිය තුළ රැඳී සිටීමටත් අවස්ථාව උදාකර දී තිබේ.




එමෙන්ම වසර හතක් සේවය කළ නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කරගැනීමේ නිසි ක්‍රමවේදය සකස් කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සඳහන් කළේ ලබාදුන් පොරොන්දු කෙරෙහි තම සංගමය විශ්වාසය තබන බවත්, යම් හෙයකින් එම විශ්වාසය පළුදු වුවහොත් නැවතත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට කිසිදු පසුබට වීමක් සිදු නොවන බවත් ය.