ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි සිය පියාගේ නිවසට ගොස් සිටියදී ඔහු අතින්ම වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය බ්‍රිතාන්‍ය ජාතික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මේ දිනවල ක්‍රියාත්මක වේ. චෙෂයර් ප්‍රාන්තයේ වොරින්ටන් හි පදිංචිව සිටි 23 හැවිරිදි ලූසී හැරිසන් නැමැති මෙම තරුණිය පසුගිය 2025 වසරේ ජනවාරි 10 වැනිදා ඩලාස් නුවරට ආසන්න ප්‍රොස්පර් ප්‍රදේශයේ පිහිටි සිය පියා වන ක්‍රිස් හැරිසන්ගේ නිවසේදී මෙලෙස පපුවට වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කළද, කොලින් කවුන්ටි ජූරිය විසින් පියාට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.මෙම ඛේදවාචකයට පෙර ඔවුන් දෙදෙනා අතර එවකට සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දැඩි බහින්බස් වීමක් සිදුවී ඇති බව චෙෂයර් මරණ පරීක්ෂක උසාවියේදී අනාවරණය විය. ලූසී සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ඇමරිකාවට ගොස් සිටි ඇයගේ පෙම්වතා වන සෑම් ලිට්ලර් අධිකරණයට ප්‍රකාශ කළේ, ලූසී ලිංගික අතවරයකට ලක්වුවහොත් පියෙකු ලෙස ඔහුට හැඟෙන්නේ කෙසේදැයි ඇය පියාගෙන් විමසූ බවයි. එහිදී තමාට තවත් දියණියන් දෙදෙනෙකු සිටින බැවින් එය තමන්ට එතරම් කම්පනයක් ගෙන නොදෙන බවට පියා ලබා දුන් පිළිතුර හේතුවෙන් ලූසී දැඩි ලෙස කලබලයට පත්ව සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එදින ඔවුන් ගුවන් තොටුපළ බලා පිටත්ව යාමට පැය භාගයකට පමණ පෙර, ක්‍රිස් හැරිසන් සිය දියණියව මුළුතැන්ගෙයි සිට පහත මාලයේ පිහිටි ඔහුගේ නිදන කාමරය වෙත කැඳවාගෙන ගොස් තිබේ. තත්පර 15කට පමණ පසු විශාල වෙඩි ශබ්දයක් ඇසුණු බවත්, ඉන්පසු ක්‍රිස් සිය බිරිඳ වූ හීදර්ට කෑගසමින් කතා කරන හඬ ඇසී තමන් කාමරයට දිව ගිය බවත් ලිට්ලර් සාක්ෂි දෙමින් සඳහන් කළේය. එහිදී ලූසී නාන කාමරය අසල බිම වැටී සිටි අයුරුත්, පියා අසලට වී වියරු වැටුණාක් මෙන් කෑගසමින් සිටි අයුරුත් ඔහු දැක ඇත.
මරණ පරීක්ෂණය සඳහා පෞද්ගලිකව සහභාගී නොවූ ක්‍රිස් හැරිසන්, ලිඛිත ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ තමා සතුව තිබූ ග්ලොක් 9mm වර්ගයේ ගිනි අවිය දියණියට පෙන්වීමට උත්සාහ කිරීමේදී අහම්බෙන් වෙඩි පත්තුවීමක් සිදුවූ බවයි. ආරක්ෂාව වෙනුවෙන් මිලදී ගෙන තිබූ එම ගිනි අවියේ කොකා මත තම ඇඟිල්ල තිබුණාද යන්න තමාට නිශ්චිතව මතක නොමැති බව ඔහු පවසා තිබේ. මීට පෙර මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනයට ලක්ව සිටි ඔහු, දියණිය පිටත්ව යාමේ දුක හේතුවෙන් එදින 7-Eleven වෙළඳසැලකින් මිලදී ගත් ෂාඩනේ (Chardonnay) සුදු වයින් මිලිලීටර් 500ක පමණ ප්‍රමාණයක් පානය කර සිටි බවද පිළිගෙන ඇත. පොලිස් නිලධාරිනියකගේ සාක්ෂි මගින්ද ඔහු එදින මත්පැන් පානය කර ඇති බව සනාථ වී තිබේ.
ක්‍රිස් හැරිසන්ගේ නීතිඥවරිය වන ආනා සැමුවෙල් විසින් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණයක ස්වරූපයක් ගන්නා බව පවසමින් මරණ පරීක්ෂක ජැකලින් ඩෙවොනිෂ් හට මෙම නඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළද, මරණ පරීක්ෂකවරිය එය ප්‍රතික්ෂේප කළාය. ලූසීගේ මව වන ජේන් කෝට්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය වන ලොයිස් නොරිස් එම ඉල්ලීම හැඳින්වූයේ පියාගේ නීතිඥ කණ්ඩායම විසින් එල්ල කළ හිතාමතා කළ බාධාවක් ලෙසිනි. Boohoo නම් විලාසිතා සන්නාමයේ සේවය කළ ලූසී,
ඉතා ක්‍රියාශීලී මෙන්ම තමා විශ්වාස කරන දේවල් වෙනුවෙන් තර්ක කිරීමට ප්‍රිය කළ යුවතියක බව ඇයගේ මව පැවසුවාය. තම ක්‍රියාවේ ප්‍රතිවිපාක තමන් සම්පූර්ණයෙන්ම භාර ගන්නා බවත්, එම පාඩුවේ බර ජීවිත කාලය පුරාම තමාට දැනෙනු ඇති බවත් ක්‍රිස් හැරිසන් සිය නීතිඥයන් හරහා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් කර තිබේ. බදාදා දිනයේදී මරණ පරීක්ෂණයේ තීරණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.