අරගල සමය තුළදී පැනවූ හදිසි නීතිය, ඇඳිරි නීතිය සහ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව, වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමා පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
මාධ්‍යවේදී රසික ජයකොඩි මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර ඇත. අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් ද නම් කරනු ලැබ සිටිති. මෙම නඩුව කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේදීය.
පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සවිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, අරගල සමයේ ක්‍රියාත්මක කළ මෙම සීමා කිරීම් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ ස්ථාවරය දිවුරුම් ප්‍රකාශ හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මීට පෙර මෙවැනිම පෙත්සමක් සලකා බැලූ අධිකරණය අරගල සමයේ හදිසි නීතිය පැනවීම හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දී ඇති බවයි. එබැවින් අදාළ කරුණු පදනම් කරගනිමින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් ද ඒ හා සමාන නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් ඊට අවසර ලබා දුන් අතර අදාළ පෙත්සම් නැවත මැයි මස 21 වැනිදා කැඳවීමට නියෝග කළේය. මෙම නඩු විභාගයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න මෙන්ම ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සවිත් බණ්ඩාර මහතාය.