providing-protection-to-foreign-ships-under-the-navy-will-increase-the-states-foreign-exchange-earnings

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ විදේශීය නෞකා සඳහා ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සෘජුවම මැදිහත් වීමත් සමඟ රජයේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමටත්, එම ප්‍රතිලාභ සෘජුවම රටේ ආර්ථිකයට ලබා දීමටත් හැකි වී තිබේ. මෙම මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2009 වසරේදී ආරම්භ කරන ලද අතර, එතැන් පටන් විවිධ කාල වකවානුවලදී විවිධ පරිපාලන ව්‍යුහයන් යටතේ මෙය ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් 2025 අගෝස්තු මස 10 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක් මඟින් මෙම සේවාවන් සැපයීමේ පූර්ණ බලතල සහ වගකීම යළි නාවික හමුදාව වෙත පවරා දීමට කටයුතු කර ඇත.




මෙම නව ක්‍රමවේදය යටතේ 2025 ඔක්තෝබර් 03 වන දින සිට 2026 පෙබරවාරි 08 වන දින දක්වා වූ මාස හතරකටත් අඩු කාල සීමාවක් තුළ පමණක් නාවික හමුදාව සිදු කළ ස්වාධීන මෙහෙයුම් හරහා ඇමරිකානු ඩොලර් 598,250.00ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට හැකි වී තිබීම විශේෂත්වයකි. මීට පෙර මෙම සේවාවන් රක්නා ආරක්ෂක ලංකා සහ ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් යන ආයතනවල ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, 2021 සැප්තැම්බර් සිට 2025 ජූලි දක්වා වූ වසර හතරකට ආසන්න කාලයක් තුළ එම ආයතන විසින් ඇමරිකානු ඩොලර් මිලියන 14.12ක මුළු ආදායමක් උපයා තිබුණි. මෑත කාලීන මූල්‍ය දත්ත විමසා බැලීමේදී, මෙහෙයුම් ක්‍රියාවලියෙහි සිදුකෙරුණු මෙම වෙනස රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට තීරණාත්මක ලෙස බලපා ඇති බව තහවුරු වේ.

පෙර පැවති ඒකාබද්ධ ව්‍යාපාර (Joint Venture) ක්‍රමවේදය යටතේ රජයට සහ නාවික හමුදාවට හිමි වූයේ සමස්ථ ආදායමෙන් 15%ක ලාභාංශයක් පමණක් වන අතර, එම මුදල ද ශ්‍රී ලංකා රුපියල්වලින් ලැබීම හේතුවෙන් එහි මූල්‍ය අගය අවප්‍රමාණය වීමක් ද සිදු විය. එම කාලසීමාව තුළ ඉතිරි ආදායමෙන් 80.75%ක අතිවිශාල ප්‍රතිශතයක් ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනයටත්, 4.25%ක් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙතත් බෙදී ගොස් තිබුණි. එපමණක් නොව, ඇවන්ට් ගාඩ් ආයතනය විසින් 2014 දෙසැම්බර් 01 සිට 2015 නොවැම්බර් 13 දක්වා කාලය වෙනුවෙන් නාවික හමුදාවට ගෙවිය යුතු රුපියල් මිලියන 782ක සේවා ගාස්තු මුදලක් ද මේ දක්වා ගෙවා නොමැති බවට කරුණු අනාවරණය වී ඇත.




වර්තමානයේ නාවික හමුදාව සෘජුවම මෙම සේවාවන් සැපයීම ආරම්භ කිරීමත් සමඟ, ජාත්‍යන්තර සමාගම්වලින් ලැබෙන ආදායම කිසිදු අතරමැදියකුගෙන් තොරව, පූර්ණ වශයෙන් ඇමරිකානු ඩොලර් (USD) මඟින් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වීමේ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත වී තිබේ. මෙම පියවර හරහා මෙරට විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමට සහ ආර්ථිකයට නව ජවයක් එක් කිරීමට හැකි වී ඇති අතර, ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ වගකීම, ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු කිරීමට ද අවස්ථාව ලැබී ඇත.