මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රැඳවුම් භාරයේ පසුවෙමින් සිටියදී පළා ගිය විසිතුන් හැවිරිදි තරුණියක් යළිත් වරක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මෙම සැකකාරිය පසුගිය 17 වැනිදා මිරිහාන, කිඹුලාවල ඇවිදින මන්තීරුව අසල ව්‍යායාම් කරමින් සිටියදී ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවාය.
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකාරියක වන හංසමාලි නමැති මෙම තරුණිය මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 36යි මිලිග්‍රෑම් 650ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මතයි. අනතුරුව ඇය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සහ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කර තිබුණි.
ඒ අනුව සැකකාරිය දින හතක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරතුර, වැසිකිළියට යාමේ අවශ්‍යතාවක් ඇති බව පවසමින් ඇය පොලිස් නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කර ඇත. කාන්තා පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාව මධ්‍යයේ වැසිකිළිය වෙත යමින් සිටියදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම තරුණිය වේගයෙන් දිවගොස් පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසල සූදානම් කර තිබූ යතුරුපැදියක නැගී පළා ගොස් තිබුණි. මේ වන විට පොලිසිය පරීක්ෂණ මෙහෙයවන්නේ අදාළ යතුරුපැදියෙන් ඇයව රැගෙන ගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඔහුවද අත්අඩංගුවට ගැනීමේ අරමුණෙනි.