මෙක්සිකෝවේ වඩාත්ම අවශ්‍ය කර තිබූ අපරාධකරු මෙන්ම බියකරු ජලිස්කෝ නිව් ජෙනරේෂන් (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා වූ 59 හැවිරිදි "එල් මෙන්චෝ" හෙවත් නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්ව තිබේ. හිටපු පොලිස් නිලධාරියෙකු ද වන ඔහු, සිය ආධාරකරුවන් සහ හමුදාව අතර ඇති වූ දරුණු ගැටුම්වලින් බරපතල ලෙස තුවාල ලබා ඉරිදා දිනයේ මෙක්සිකෝ නගරය වෙත රැගෙන යමින් සිටියදී මෙලෙස මියගිය බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.
මෙක්සිකානු විශේෂ කාර්ය බලකාය විසින් සැලසුම් කර දියත් කරන ලද මෙම මෙහෙයුම සඳහා එරට ගුවන් හමුදාවේ සහ ජාතික ආරක්ෂක බලකායේ ගුවන් යානා ද යොදාගෙන තිබූ අතර, ඊට අදාළ තීරණාත්මක බුද්ධි තොරතුරු සපයා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. බටහිර ජලිස්කෝ ප්‍රාන්තයේ ටපල්පා (Tapalpa) නගරයේදී සිදුවූ මෙම මෙහෙයුමේදී CJNG කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු ද තුවාල ලබා ඇත. එමෙන්ම, සන්නද්ධ රථ සහ රොකට් විදිනයන් ඇතුළු ආයුධ තොගයක් ද මෙහිදී හමුදා භාරයට ගෙන තිබේ.
එල් මෙන්චෝගේ මරණයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය කල්ලිය විසින් ප්‍රාන්ත අටක් පුරා ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර, වාහන ගිනි තබමින් සහ මාර්ග බාධක යොදමින් දැඩි කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඉදිරි ෆීෆා ලෝක කුසලාන තරඟාවලියට සත්කාරකත්වය සපයන ග්වාඩලජාරා (Guadalajara) නගරය ඇතුළු නගර කිහිපයකින්ම වාහන ගිනිගැනීම් හේතුවෙන් නැගෙන දුම් රොටු දක්නට ලැබුණු බව ඇසින් දුටුවන් පවසා තිබේ. ජලිස්කෝ වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක කලාපයක් වන පුවර්ටෝ වලාර්ටා (Puerto Vallarta) හි ඇති වී තිබෙන මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දහස් ගණනක් වූ සංචාරකයින් පිරිසක් එහි සිරවී සිටින බව වාර්තා වේ.
මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ ජලිස්කෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර පැබ්ලෝ ලෙමස් නවාරෝ විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට නිවෙස්වලින් පිටතට නොඑන ලෙසත්, ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා මුළුමනින්ම අත්හිටුවා ඇති බවත් සමාජ මාධ්‍ය හරහා දැනුම් දුන්නේය. තවද, ජලිස්කෝ, ටමවුලිපාස් මෙන්ම මිකෝකන්, ගුවෙරෙරෝ සහ නුවෙවෝ ලියොන් යන ප්‍රදේශවල සිටින ඇමරිකානු පුරවැසියන්ට ද ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් යුනයිටඩ්, ඇමෙරිකන් සහ එයාර් කැනඩා යන ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, ඩෙල්ටා ගුවන් සේවයට අයත් යානයක් වෙනත් ගමනාන්තයක් වෙත හරවා යවා තිබේ. කෙසේ වෙතත්, මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂෙයින්බෝම් පාර්ඩෝ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව කටයුතු කරන ලෙසත්, රටේ බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත්ය.
ඇමරිකාවට විශාල වශයෙන් කොකේන්, මෙතම්ෆෙටමින් සහ ෆෙන්ටැනයිල් වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙම කල්ලියේ නායකයා කොටුකර දෙන තොරතුරක් සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 15ක (පවුම් මිලියන 11.1ක) ත්‍යාගයක් ද මින් පෙර නියම කර තිබුණි. හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙන්ම මෙක්සිකෝවේ හිටපු තානාපති ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ පවසන්නේ එල් මෙන්චෝ යනු ලොව සිටි රුදුරුතම සහ ලේ පිපාසිතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. ඇමරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ (DEA) ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ හිටපු ප්‍රධානී මයික් විජිල් ද මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතිහාසයේ ගනු ලැබූ වඩාත්ම වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දී ඇත.
මෙම ඝාතනය මෙක්සිකානු ජනාධිපතිනිය මත්ද්‍රව්‍ය කල්ලිවලට එරෙහිව ගෙන යන සටනේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. මෙක්සිකෝව පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය කල්ලි බවත්, එමනිසා මෙක්සිකානු භූමිය තුළදීම ඔවුන් මර්දනය කිරීමට පියවර ගන්නා බවටත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේදී කළ ප්‍රකාශයට, ඇමරිකානු හමුදා තම දේශසීමාවට යෙදවීම කිසිසේත් සිදුකළ නොහැක්කක් බවට ජනාධිපතිනිය දැඩිව ප්‍රතිචාර දක්වා තිබුණි. මෙම ජයග්‍රහණය දෙරට අතර සබඳතා තර කිරීමට හේතු විය හැකි වුවද, කල්ලියේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර ඉක්මනින් පාලනය කිරීමට ආරක්ෂක අංශ අපොහොසත් වුවහොත් රජයේ ජයග්‍රහණය යටපත් වීමේ අවදානමක් ද පවතී.
2010 වසරේදී ජලිස්කෝ ප්‍රාන්තයෙන් සිය බලය ව්‍යාප්ත කිරීම ආරම්භ කළ CJNG කල්ලිය, මේ වන විට මෙක්සිකෝව පුරා මෙන්ම ඇමරිකානු ජනපද 50 තුළම ක්‍රියාත්මක වන, බලවත් සීනලෝවා (Sinaloa) කල්ලියට ද ප්‍රබල අභියෝගයක් වී ඇති ජාලයකි. රොකට් ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක අංශවල හෙලිකොප්ටර් යානා බිම හෙළීමට සහ රජයේ නිලධාරීන් දුසිම් ගණනක් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු පාලම්වල එල්ලා තබමින් ප්‍රතිවාදීන් බියගැන්වීමට තරම් මොවුන් කුප්‍රකටය. මෙම කල්ලිය ෆෙන්ටැනයිල් නිෂ්පාදනයෙන් බිලියන ගණනක ආදායමක් උපයයි. 2025 ජුනි මාසයේ නිකුත් කළ ඇමරිකානු රේගු සහ දේශසීමා ආරක්ෂක දත්තවලට අනුව, 2024 ඔක්තෝබර් මාසයේ සිට ඇමරිකාවේ අත්අඩංගුවට ගෙන ඇති ෆෙන්ටැනයිල් රාත්තල් 9,200න් (කිලෝග්‍රෑම් 4,182න්) සියයට 96ක්ම මෙක්සිකෝ නිරිතදිග දේශසීමාව හරහා පැමිණි ඒවා වන අතර කැනඩා දේශසීමාවෙන් අල්ලාගෙන ඇත්තේ සියයට 1කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉතිරිය මුහුදු මාර්ග හෝ වෙනත් මුරපොළවල් හරහා ගෙන ආ ඒවා වේ.