king-charles-brother-andrew-arrested-on-sexual-abuse-charges

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෘ කුමරු සිය 66 වන උපන්දින දිනයේදීම, එනම් බ්‍රහස්පතින්දා උදෑසන 8.00 ට පමණ සැන්ඩ්‍රින්හැම් හි පිහිටි ඔහුගේ නිවසේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය නිලයක් දරමින් සිටියදී සිදුකළ අක්‍රමිකතා සහ විෂමාචාර සම්බන්ධයෙන් සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙය නූතන බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට පත් පළමු අවස්ථාව ලෙස සැලකේ.




මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කුප්‍රකට ජෙෆ්රි එප්ස්ටීන් අපචාර සිද්ධියට අදාළව වර්ජිනියා ජුෆ්රේ විසින් එල්ල කරන ලද බරපතල ලිංගික අපයෝජන චෝදනාවන්‍ ය. 2001 වසරේදී ඇය 17 හැවිරිදි වියේ පසුවෙද්දී ඇන්ඩෘ විසින් තමන්ව ලිංගිකව අපයෝජනය කළ බවට වර්ජිනියා චෝදනා කළද, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, වර්ජිනියා ජුෆ්රේ පසුගිය 2025 අප්‍රේල් මාසයේදී සියදිවි නසාගැනීමක් බවට සැකකෙරෙන අයුරින් ජීවිතක්ෂයට පත්විය. ඇයගේ මරණයට දින කිහිපයකට පෙර ඇය අනතුරකට මුහුණ දී තිබූ අතර, තමන් තවත් වැඩි දිනක් ජීවත් නොවන බව පවසමින් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක්ද තබා තිබුණි.

නීතියට අනුව, සාමාන්‍යයෙන් සැකකරුවෙකු පැය 12ක් හෝ 24ක් රඳවා තබාගත්තද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහ අධිකරණයේ අවසරය මත ඇන්ඩෘව උපරිම වශයෙන් පැය 96ක කාලයක් පොලිස් භාරයේ රඳවා තබාගැනීමට හැකියාව පවතී. ඔහුව පොලිස් සිරමැදිරියක රඳවා තැබිය හැකි අතර, ඔහුගේ පරිගණක, ලිපිගොනු සහ ඔහුට අයත් නිවාස ඇතුළු දේපළ පරීක්ෂා කිරීමේ බලයද පොලිසියට හිමිව තිබේ. එංගලන්ත නීතිය යටතේ රාජ්‍ය නිලයක් දරන අතරතුර දැනුවත්වම සිදුකරන විෂමාචාරයන් බරපතල අපරාධයක් ලෙස සැලකෙන අතර, එය ඔප්පු වුවහොත් උපරිම දඬුවම ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමටද ඉඩ ඇත. මෙම සිද්ධිය, 2001 වසරේ සිට වසර 10ක කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ වෙළඳ නියෝජිතයා ලෙස කටයුතු කළ සමයට සම්බන්ධ බවට විශ්වාස කෙරේ.




තම සොහොයුරාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකර ඇති චාල්ස් රජු, නීතියට එහි කාර්යය කිරීමට ඉඩදිය යුතු බවත්, අදාළ බලධාරීන් විසින් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනු ඇති බවත් ප්‍රකාශ කර ඇත. පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමෙන් ඔහු වැළකී සිටියේය. මීට සමගාමීව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ද අවධාරණය කළේ කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු සාක්ෂි ලබාදිය යුතු බවත්ය.

මේ අතර, ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඇන්ඩෘ සහ එප්ස්ටීන් සම්බන්ධ ආන්දෝලනාත්මක ඡායාරූප පහක් සහ තොරතුරු නිකුත් කර තිබේ. 2001 මාර්තු 10 වැනිදා ලන්ඩනයේ ගිස්ලේන් මැක්ස්වෙල්ගේ නිවසේදී 17 හැවිරිදි වර්ජිනියාගේ ඉඟටිය වටා අත යවාගෙන සිටින ඇන්ඩෘගේ ඡායාරූපයක්, 2025 දෙසැම්බර් මාසයේදී නිකුත් කළ එප්ස්ටීන් කාන්තාවන් පස්දෙනෙකුගේ උකුල මත වැතිර සිටින ඡායාරූපයක්, මෙන්ම ජනවාරි 30 වැනිදා නිකුත් වූ ඇන්ඩෘ කාන්තාවක් මත දණගාගෙන සිටින, බිම වැතිර සිටින දැරියක ස්පර්ශ කරන සහ දැරියකගේ උදරය ස්පර්ශ කරන අයුරු දැක්වෙන ඡායාරූප ඒ අතර වේ. ඊට අමතරව 2008 වසරේදී ඔහු සිය දියණියන්ගේ ඡායාරූප එප්ස්ටීන්ට යවා ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2010 සහ 2011 වසරවලට අයත් ඊමේල් පණිවිඩ හරහාද අනාවරණය වී ඇත.



මෙම සිදුවීම් මාලාව හේතුවෙන්, 2019 වසරේදී ඔහුට සියලුම රාජකීය යුතුකම් වලින් ඉවත් වීමට සිදුවූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී චාල්ස් රජු විසින් ඔහුගේ 'ප්‍රින්ස්' නාමය සහ 'ඩියුක් ඔෆ් යෝර්ක්' ඇතුළු අනෙකුත් සියලුම රාජකීය ගෞරව නාමයන් ද අහිමි කරනු ලැබීය. වින්ඩ්සර් හි පිහිටි ඔහුගේ සුඛෝපභෝගී 'රෝයල් ලොජ්' නිවසින් ඉවත්වන ලෙසද ඔහුට නියෝග කෙරුණු අතර, මේ වනවිට ඔහුව හඳුන්වනු ලබන්නේ 'ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර්' යන නමිනි. කෙසේ වෙතත්, රාජකීය තනතුරු අහිමි වුවද, ඔහු තවමත් බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමක්කාරයින්ගේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ පසුවෙයි. 1980 ගණන්වල ආර්ජන්ටිනාව සමඟ පැවති ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍ය නාවික හමුදා නිලධාරියෙකු ලෙසද 65 හැවිරිදි ඔහු සේවය කර ඇත.

වර්ජිනියා ජුෆ්රේ විසින් රචිත 'නෝ බොඩීස් ගර්ල්' (No Bodies Girl) නමැති ඇගේ මතක සටහන් කෘතිය ඇයගේ මරණයට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා ප්‍රකාශයට පත් විය. ඇය වයස අවුරුදු 15 දී මෙම ජාලයට හසුවී ඇති අතර, ඇය ඇන්ඩෘව පළමුවරට මුණගැසීමට යන විට එප්ස්ටීන්ගේ පෙම්වතිය වූ ගිස්ලේන් මැක්ස්වෙල් ඇයට පවසා තිබුණේ "සින්ඩරෙල්ලා ඔබ ලස්සන කුමාරයෙකු හමුවීමට යයි" යනුවෙනි. ඇයව දුටු විගස ඇයගේ වයස අවුරුදු 17ක් බව නිවැරදිව අනුමාන කළ ඇන්ඩෘ, ඔහුගේ දියණියන් ඇයට වඩා තරමක් බාල බව පවසා ඇත. ලන්ඩනයේ මැක්ස්වෙල්ගේ නිවසේදී, නිව්යෝර්ක් හි එප්ස්ටීන්ගේ නිවසේදී සහ එප්ස්ටීන්ගේ කැරිබියන් දූපතේදී වශයෙන් ඇන්ඩෘ තමන් සමඟ තුන් වතාවක් ලිංගිකව එක්වූ බවත්, තුන්වන අවස්ථාවේදී තවත් බාලවයස්කාර දැරියන් 8 දෙනෙකු එහි සිටි බවත් ඇය පොතේ සඳහන් කර තිබේ. තමා සමඟ ලිංගිකව හැසිරීම ඔහුගේ උපන් උරුමයක් ලෙස ඇන්ඩෘ සිතා සිටි බවද ඇය වැඩිදුරටත් දක්වා ඇත. 2011 දී එප්ස්ටීන්ගේ ජාලය හෙළිදරව් කළ වර්ජිනියා, පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ලිංගික අතවරවලට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් නීතීඥවරියක ලෙසද කටයුතු කළාය.

මෙම අපයෝජන චෝදනා මත 2021 වසරේදී වර්ජිනියා විසින් ඇන්ඩෘට එරෙහිව නඩුවක් ගොනු කරන ලද අතර, පසුව එය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 12ක (රුපියල් කෝටි 125ක පමණ) මුදලකට සමථයකට පත් කර ගැනීමට පාර්ශවයන් එකඟ විය. එලෙස විශාල මුදලක් ගෙවා නඩුව සමථයකට පත් කර ගත්තද, තමන් කිසිදු වරදක් සිදු නොකළ බව ඇන්ඩෘ දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණි. එප්ස්ටීන් සිද්ධියට අමතරව, චීන ඔත්තුකාරියක සමඟ පැවති සබඳතා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්ද ඔහු මීට පෙර විවිධ ආන්දෝලනයන්ට ලක්ව ඇත.

king-charles-brother-andrew-arrested-on-sexual-abuse-charges

king-charles-brother-andrew-arrested-on-sexual-abuse-charges