හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව අදාළ අංශ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක ආන්දෝලනයට තුඩු දුන් බ්‍රිතාන්‍ය සංචාරයකදී කිසියම් මූල්‍ය අපරාධමය වරදක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට අද දිනයේ එම කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දීමක් සිදු කර තිබුණි. මෙම කැඳවීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, සෞඛ්‍ය ගැටලු මූලික කරගනිමින් තමන්ට අද දිනයේ එහි පැමිණීමට හැකියාවක් නොමැති බව ඇය විසින් දන්වා යවා තිබේ. වෛද්‍ය උපදෙස් මත තමන් මේ වන විට නිවසේ සිටම ප්‍රතිකාර ලබන බැවින්, මෙම විමර්ශනයට අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා සිය නිවසට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගියදා ඇප මත නිදහස් විය.
රනිල් වික්‍රමසිංහ සිය බිරිය සහ පිරිසක් 2023 සැප්තැම්බර් මස බ්‍රිතාන්‍යයේ සංචාරය සිදුකර තිබුනේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් පුද්ගලික ගමනක් සඳහාය. ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වී තිබුණි.
වාර්තාවන ආකාරයට මෙම ගමන සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා.
ජනාධිපති වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී එම් බී එස් විජයපාල, ජනාධිපති පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් බී එම් ඒ එන් එස් ආරියරත්න, සන්ධාන නිලධාරි ඒටී කෝසල පෙරේරා, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරි පීඑන් ගුරුගේ හා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයිඑම්ටී ආර් දෙල්ගොඩ යන 10 දෙනෙකුගෙන් සමන්විත පිරිස සහභාගි වී තිබේ.
ඒ සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 162 පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇත.
ලන්ඩන් සංචාරයට අමතරව 2023 මැයි මස සිංගප්පූරුවේ සංචාරයද රාජ්‍ය වියදම් දරමින් රනිල් ජනපතිවරයා පුද්ගලික ගමනක් ගිය බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ සංචාරය සදහාද බිරිය මෛත්‍රී සහභාගී කරගෙන තිබුණි.