kassapa-thero-gets-bail

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සිව්නමක් සහ තවත් සිවිල් පුද්ගලයින් හය දෙනෙකු ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් දස දෙනාට ඇප නියම කරනු ලැබුවේ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.

අබ්දුල්ලා මහතා විසිනි.




මෙහිදී එක් සැකකරුවෙකු සඳහා රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කළ යුතු බවට විනිසුරුවරයා නියෝග නිකුත් කළේය.

ඇප නියම කිරීමේදී විනිසුරුවරයා විසින් සැකකරුවන් වෙත දැඩි කොන්දේසි මාලාවක් ද පනවනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතුවලට සහ සාක්ෂිවලට කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු බවත්, නඩු විභාග පවත්වන දිනවලදී අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ. තවද කිසිදු ආගමික කටයුත්තකට හෝ පොදු කටයුත්තකට බාධාවක් වන ආකාරයෙන් හැසිරීමෙන් වැළකී සිටිය යුතු බවට ද අධිකරණය විසින් සැකකරුවන්ට දැනුම් දෙන ලදී.




මෙම නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර සිටියේ අධිකරණය මගින් පනවා ඇති කොන්දේසිවලින් එකක් හෝ කඩ කළහොත්, ලබා දී ඇති ඇප අවලංගු කර සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බවයි.