it-is-not-in-the-genes-for-the-people-of-sri-lanka-who-are-not-tall-enough-to-hit-the-roads-with-power-hitting---tillakaratne-dilshan

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා ප්‍රවීණ ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලීන ප්‍රවණතා සහ මෑත කාලීනව පවන් දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. ඔහු සමග පැවැති සංවාදය පහතින්




ප්‍රශ්නය: සාමාන්‍යයෙන් ලකුණු 200ක් වැනි ඉලක්කයකට ක්‍රීඩා කළ ටුවෙන්ටි-20 (T20) ආකෘතිය දැන් ලකුණු 300 සීමාවටත්, එක්දින (ODI) තරග ලකුණු 450 වැනි මට්ටම්වලටත් පැමිණ තිබෙනවා. මේ වෙනසත් එක්ක කණ්ඩායම්වලට ඇත්තටම මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ? විශේෂයෙන්ම දැන් කණ්ඩායම් හැඩගැසිය යුත්තේ කොහොමද?

පිළිතුර: අවාසනාවකට මේ 'පවර් හිටින්' (Power Hitting) කියන සංකල්පය නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණු තාක්ෂණික ගුණාංග ගොඩක් ගිලිහී ගොස් තිබෙනවා. මොකද හැමෝටම දැන් අවශ්‍ය වන්නේ පවර් හිටින් කරමින් හයේ පහරවල් ගැසීමටයි. කලින් මීටර් 70 සීමාවට හයේ පහරක් ගැසූ ක්‍රීඩකයාට දැන් මීටර් 100ක් ගැසීමට පුරුදු කරනවා. නමුත් ඒ වගේ ශක්තිමත් පෙනුමක් හෝ ජානමය හැකියාවක් (Genetics) අපේ ක්‍රීඩකයන්ට සහජයෙන්ම පිහිටා නැහැ.




අපේ ක්‍රීඩකයන්ගේ ජානවල තියෙන්නේ පන්දු අතර ලකුණු ලබා ගනිමින්, හතරේ පහරවල් කරා යන ශෛලියක්. තිසර පෙරේරා, දසුන් ශානක වැනි පවර් හිටින් කළ හැකි ක්‍රීඩකයන් අපට බිහිවන්නේ ඉතා කලාතුරකින්.

නමුත් දැන් හැමෝම මේ පවර් හිටින් ක්‍රමය පාවිච්චි කරන්න ගියොත්, සාමාන්‍යයෙන් හතරේ පහරවල් ගහන ක්‍රීඩකයාටත් තමන්ගේ සහජ දක්ෂතාව පෙන්වන්න බැරි වෙනවා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි රටවල ක්‍රීඩකයන් ශරීර ශක්තියෙන් ඉහළයි. ඔවුන්ට පහසුවෙන් මීටර් 100 සීමාව ඉක්මවා පහරවල් එල්ල කළ හැකියි. අපේ ශරීර ස්වභාවය අනුව ඒ මට්ටමට යෑම තරමක් අපහසුයි. පසුගිය කාලසීමාවේ දඟ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අවස්ථා කිහිපයක්ම අපට දැකගත හැකි වුණා.



අපට පුළුවන් විය යුත්තේ අපට හුරු දේ වැඩිදියුණු කර ඉන් උපරිම ඵල ලබා ගැනීමටයි. අපට කරන්න බැරි දෙයක් කරන්න ගියොත්, කොච්චර උත්සාහ කළත් ඒ ඉලක්කයට යෑම අපහසුයි. ඒ නිසා ක්‍රීඩකයන්ගේ අනන්‍යතාව හඳුනාගෙන, ඔවුන්ගෙන් ගත හැකි උපරිම දක්ෂතාව ලබා ගන්නේ නම් අපේ දක්ෂ ක්‍රීඩකයින්ට හොඳ ගමනක් යා හැකියි.

ප්‍රශ්නය: එංගලන්තය සමඟ පැවති තරගයේදී පවන් රැස් කළ ශතකය ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. ඔහුගේ ඒ ඉනිම ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: මම ඒ තරගය නැරඹුවා. පවන්ගේ ඉනිමේ මම දැක්ක සුවිශේෂී දෙය තමයි, ඔහු පළමු පන්දුවේ සිටම පාද චලනය (Footwork) ඉතා හොඳින් භාවිතා කිරීම. එය ඉතා හොඳ ලක්ෂණයක්. මොකද මෑතකාලීනව අපේ ක්‍රීඩකයන් දඟ පන්දු යවන්නන්ට නිසි ලෙස මුහුණ දුන්නේ නැහැ. අවසාන අවුරුදු 4-5 ගත්තොත්, දඟ පන්දු හමුවේ වැඩිපුරම අසරණ වන සහ කඩුලු පූජා කර තරග පරාජය වන කණ්ඩායම බවට අපි පත්වෙලා තිබුණා.

නමුත් පවන්ගේ පිතිකරණය තුළ මම දුටු සුවිශේෂීම දේ තමයි ඔහුගේ පියවර ඉදිරියට තබා ක්‍රීඩා කිරීම (Using the feet). මීට පෙර අපේ කිසිම ක්‍රීඩකයෙක් මෙතරම් විශ්වාසයකින් දඟ පන්දු යවන්නන් මර්දනය කරනවා මම දැක්කේ නැහැ. ඔහුගේ ඒ ශතකයෙන් 90%ක්ම තිබුණේ දඟ පන්දු යවන්නන්ව පාලනය කිරීමයි. ඉතා දිගු කාලයකට පසුව දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දුන් ක්‍රීඩකයෙකු මම පවන් තුළින් දුටුවා.