india-defeated-pakistan-to-super-8-round

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ පැවැති 27 වැනි තරගයෙන් සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වූ පාකිස්තානය ලකුණු 61කින් පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (15) සමත් විය. කොළඹ ආර්.

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මන් ආගා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාවෙන් කිසිදු බාධාවක් නොමැති වුවද වළාකුළුවලින් බර වූ කාලගුණයක් මධ්‍යයේ තරමක් අභියෝගාත්මක සහ මන්දගාමී තණතීරුවක තරගය ක්‍රියාත්මක විය.




තරගය ආරම්භයේදීම අභිෂේක් ෂර්මා ලකුණු නොලබා දැවී යාමත් සමග ඉන්දීය ඉනිම යම් පසුබෑමකට ලක්විය. එහෙත් ආරම්භක පිතිකරු ඉෂාන් කිෂාන් පන්දු 40කින් වේගවත් ලකුණු 77ක් රැස් කරමින් ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව ඉන්දීය පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ඉනිමටද හිමිකම් කියමිනි. හයේ පහර සහ හතරේ පහර කිහිපයකින් වර්ණවත් වූ ඔහුගේ එම ඉනිම අතරතුරදී ඔහු තිලක් වර්මා සමග එක්ව ලකුණු 87ක අතිශය වැදගත් සබඳතාවක් ගොඩනැගුවේය. 

ඉනිමේ අවසන් භාගයේදී ක්‍රියාත්මක වූ සූර්යකුමාර් යාදව් පන්දු 28කින් ලකුණු 32ක් සහ ශිවම් ඩුබේ පන්දු 17කින් ලකුණු 27ක් රැස් කරමින් ඉන්දීය ලකුණු පුවරුව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 175ක් දක්වා ඉහළ නැංවූහ. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූ සයිම් අයුබ් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගේ විනයගරුක පන්දු යැවීම හමුවේ සාර්ථක වීමට කිසිදු ඉඩක් නොලැබිණි. ජස්ප්‍රිට් බුම්රා විසින් සයිම් අයුබ් සහ නායක සල්මන් ආගා ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ අතර, ඉන් අනතුරුව හර්දික් පාණ්ඩ්‍යා සහ අබිරහස් දඟ පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්ති පාකිස්තාන මැද පෙළ මුළුමනින්ම සුනුවිසුනු කළහ. බාබර් අසාම් ඇතුළු ප්‍රබල පිතිකරුවන් අසාර්ථක වීමෙන් ඔවුන්ගේ ලකුණු තත්ත්වය කඩුලු 4කට ලකුණු 34ක් සහ කඩුලු 7කට ලකුණු 78ක් ලෙස දැඩි කඩාවැටීමකට ලක්විය. පසුපෙළ පිතිකරුවන්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් වරුන් චක්‍රවර්ති ඔවුන්ව කඩුලු 9කට ලකුණු 97ක් දක්වා පසුබස්සවන ලද අතර, පන්දු වාර 18ක් අවසානයේ පාකිස්තාන ඉනිම ලකුණු 114කට සීමා විය.




මෙම විශිෂ්ට පන්දු යැවීමත් සමගින් විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානයට එරෙහිව ඉන්දියාව වාර්තා කළ ජයග්‍රහණ සංඛ්‍යාව 8-1ක් ලෙස තවදුරටත් වර්ධනය විය. තරගයේ සෑම අංශයකින්ම ඉන්දියාව දැක්වූ මෙම ආධිපත්‍යය හේතුවෙන් ඔවුන් ‘A’ කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගනිමින් 'සුපිරි 8' වටයට ඇතුළත්වීමට සුදුසුකම් ලබා ඇති අතර, පාකිස්තාන පිතිකරණයේ පවතින දැඩි දුර්වලතා මෙම තරගයෙන් මනාව ප්‍රදර්ශනය කෙරිණි.
අද ලකුණු පුවරුව හා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්