ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් දින තුනක නිල සංචාරයක් අරමුණු කරගනිමින් 16 වනදා පස්වරුවේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම දූත පිරිස පිළිගැනීම සඳහා කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෑතකදී දිවයිනට දැඩිව බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානි සහ එහි සැබෑ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඒ අනුව 17 වනදා පෙරවරුවේ මෙම නියෝජිත පිරිස ආපදාවට ලක්වූ ගම්පොළ ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සැලසුම් කර ඇත.
ඉන් අනතුරුව කොළඹදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස අපේක්ෂා කරති. ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිතය. පවතින ආපදා තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැංවීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදිය හැකි සහයෝගය සහ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.