කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරමින් මහජනතාවගේ වන්දනා මාන කටයුතු සඳහා නිරාවරණය කර පවතින, ශාක්‍යමුනි සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුපියාණන් වහන්සේ ලෙස සලකා සියැසින් දැකගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ අද ගොස් තිබුණි. භාරතයේ ගුජරාට් ප්‍රාන්තයේ “දෙව්නි මෝරි” ඓතිහාසික පුදබිමෙන් වැඩමවන ලද උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා මාන කර ගැනීම සඳහා ලද මෙම අසිරිමත් අවස්ථාව ඉන්දියාව සහ අප රට අතර පවතින ශතවර්ෂ ගණනක පැරණි බෞද්ධ සම්බන්ධතා සඳහා නව ජීවයක් ලබා දුන් සහෝදරත්වයෙන් පිරි අවස්ථාවකි.
මේ සම්බන්ධව අදහස් දක්වන හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙම උතුම් අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන බවත් මෙම සුවිශේෂී කටයුත්ත සම්බන්ධීකරණය කළ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා ඇතුළු අප දෙරටෙහි සියලු රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස ද ස්තුති පූර්වකව සිහිපත් කරන බවත්ය.
මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කරමින් ගෞරවනීය ලෙස සැදැහැවතුන්ට දැක බලා, වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දුන් ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේට සහ මහා සංඝරත්නයටද හිටපු ජනපතිවරයාගේ නමස්කාර පූර්වක ගෞරවනීය ස්තූතිය පළ කර තිබේ.