court-permission-to-detain-suresh-salai-for-ninety-days

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සිදුකරන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි දින අනූවක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. පසුගිය 25 වන දින උදෑසන කාලයේදී පෑලියගොඩ ප්‍රදේශයේදී රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස සිය භාරයට ගනු ලැබීය.




වර්ෂ 1987 මාර්තු මස 16 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වී ඇති මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලෙයි, 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සිය රාජකාරි කටයුතු සිදු කර තිබේ. පාස්කු ප්‍රහාරයට අදාළව ඔහුට එල්ල වී තිබූ චෝදනා මුල්කරගනිමින් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඔහුට දැනුම් දී තිබූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ හේතුවෙන් 2024 වසරේ අග භාගයේදී ඔහුව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ධුරයෙන් පහ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඔහුගේ මෙම අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය 2019 වසරේ අප්‍රේල් මස 21 වන දින ක්‍රියාත්මක වූ අතර, එහිදී දිවයින පුරා ස්ථාන අටක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 273 දෙනෙකුට සිය ජීවිත අහිමි විය.

court-permission-to-detain-suresh-salai-for-ninety-days