6.00 pm
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
සැකකාරිය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට නියෝග කර තිබේ.
2.00pm
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය මෙන්ම නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ හිටපු දෙවන ලේකම්වරියක වූ චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 300 ක මුදලක් උපයෝගී කර ගනිමින් මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට එල්ල වී ඇති චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම 2026 පෙබරවාරි 06 වන දින සිදු කර ඇත.
මෙම විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සැක කටයුතු ගනුදෙනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින් රැසකගේ වත්කම් තහනම් කිරීමට මීට පෙර පියවර ගෙන තිබිණි. ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා විහේන, දියණියන් වන චමිත්‍රි ජයනිකා, චන්ද්‍රානි පමාලි සහ අමාලි නයනිකා මෙන්ම බෑණනුවන් වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයගේ නමින් පවතින ස්ථාවර තැන්පතු ගිණුම් 16 ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 05 ක් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර ඇත.
අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නඩු විභාගය පවත්වන ආකාරය පිළිබඳව විනිසුරුවරයා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව නීතිඥවරුන් සහ නීති සිසුන් හැර අධිකරණ ශාලාවේ රැඳී සිටි සෙසු සියලුම පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට පියවර ගැණුනි. එහිදී රඹුක්වැල්ල පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ, බැංකු ගිණුම් තහනම් කිරීම හේතුවෙන් තම සේවාදායකයින් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් එම තහනම ඉවත් කර දෙන ලෙසයි.
කෙසේ වෙතත්, විත්ති පාර්ශ්වයේ එම ඉල්ලීමට එරෙහිව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකා නීතිඥ තුසිතා ජයනෙත්ති මහත්මිය දැඩි විරෝධය පළ කර සිටියාය. මීට පෙර 2025 වසරේ ජුනි මාසයේදී ද මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ චමිත්‍රි රඹුක්වැල්ල ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබූ අතර, හිටපු අමාත්‍යවරයාගේ සිදුවීම්වලට සමගාමීව ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ද පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වේ.