කළුතර, වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියක් අද (15) පෙරවරුවේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ, මෙම යතුරුපැදිය බණ්ඩාරගම - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසල දමාගොස් තිබියදී හමුවූ බවයි. මෙය 'FZ' වර්ගයේ යතුරුපැදියක් වන අතර, එහි ඉදිරිපස අංක තහඩුව කළු පැහැති ටේප් පටියකින් ආවරණය කර තිබී ඇත.
යතුරුපැදිය තිබූ ස්ථානයේදී තවත් වැදගත් සාක්ෂි කිහිපයක් ද සොයාගෙන තිබේ. ඒ අතර, යතුරුපැදිය මත තිබී කළු පැහැති ආරක්ෂක හිස්වැස්මක් සහ එය අසල බිම වැටී තිබූ, කළු පැහැති රෙදිවලින් නිමවූ අලුත්ම ජැකට්ටුවක් ද වේ. මීට අඩි කිහිපයක් එපිටින් වූ වෙල්යාය අසල, කහ පැහැති හාල් උරයක බහා තිබූ නවතම සපත්තු යුගලක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, මෙම යතුරුපැදිය ඊයේ (14) රාත්‍රියේ වස්කඩුව, වාඩියමංකඩ ප්‍රදේශයේ සුප් වෙළඳසැලක් පවත්වාගෙන ගිය 33 හැවිරිදි පුද්ගලයා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයන් විසින් භාවිත කරන ලද එකක් බවයි.
සිද්ධිය වූ ස්ථානයට අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදුකර ඇති අතර, බණ්ඩාරගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.